මුලුතැන්ගෙදර හදන ආහාරපාන බොහොම රස කරමින් කෑවා බිව්වත් ඒවායේ ඉවතලන දෑ පැය කීපයක් ගියාම අපිටම වදයක් වෙනවා. ඉවතලන දේ නිසි විදිහට ඉවතට නොදැම්මොත් එයින් ඇතිවෙන අපහසුතාවයටත් අපිට මුහුණ දීමට සිදු වෙනවා විතරක් නොවෙයි, අල්ලපු මායිමට දාලා බැණුම් අහන්න... වත්තේ පිටියේ තැන තැන තිබිලා වතුර පිරුනොත් ඩෙංගු තවානක් නිර්මානය කළා කියල දඩ කන්න..අනේ අපොයි... ප්‍රශ්න කීයක්ද.. ඒත් මේ වෙනුවෙන් තිබෙන සරලම පිලිවෙත් කීපයක් ගැන අත්හදා බැලුවොත් නරකද.. මුලුතැන්ගෙයින් ඉවතලද හාල්මැස්සන්, කරවල, මාළු වැනි බැහැර කරන අපද්‍රව්‍ය කොටස් මුලුතැන්ගෙයි තියා ගන්නත් බැහැ. ඊටත් හේතුවක් තියෙනවානේ. පළාත් පාලන අධිකාරියෙන් දිරන ද්‍රව්‍ය එකතු කරන්න පැමිණෙන දින තියෙනවා. එතෙක් මේවා මුලුතැන් ගෙයි තියාගන්නත් බැහැ. එහෙම තියා ගැනීමත් සුදුසු නැහැ. ඒවායේ දුර්ගන්ධය නිසා නහයක් වහගෙන නම් ඉන්න ලැබෙන එකක් නැහැ.
ඉතින් මේවාට මොකද කරන්නේ...
ඔබ ඉවත දමන කරවල, හාල්මැස්සන් හෝ වෙනත් මාලු වැනි බැහැර කරන දේවල් පුංචිවට හෝ ගෙවත්තක් තිබෙනවා නම් එහි තිබෙන ගස් අසල පුංචි කානුවක් කපලා වලලන්න.
ඇයි ඉතින් වත්තට විසි කලොත්...
එහෙම එපා. මේවා නරක් වෙද්දී දුර්ගන්ධය සුළං අතට ඇවිත් ඔබේ නිවසේ ඉන්න අයටත් අපහසුතාවයක් ඇති කරාවි. ඒ වගේම කපුටන්, බල්ලන්, බළලුන් වැනි සතුන් මේවා ආහාරය පිණිස තැන තැන ගෙන ගොස් දමන්නනත් පුලුවනි. සැත්තුන්ට ඉතිං ඊටපස්සේ අපිට දැනෙන අපහසුව ගැන වගක්යැ...ඒ නිසා කරපිංචා පැලයක්, කෙසෙල් පැලයක් වගේ දෙයක් ඇත්නම් ඒ අසල මේවා වලලන්න. එයින් ඇති වාසිය දන්නවාද...? මේ ද්‍රව්‍ය දිරන විට ඔබේ ගෙවත්තට හොඳම පොහොරක් ලැබේවි..
මේවා සෝදන වතුර..
කලබල වෙන්න එපා. ඒවාටත් වැඩක් තිබෙනවා. මස්, මාළු හෝදන වතුර කුස්සියේ සින්ක් එකට දැම්මොත් පිලි ගඳ දැනෙන්න පුලුවනි. ඒ නිසා ඒ වතුරත් මුලින් සඳහන් කළ ගස්වලට දමනන්ත එයිනුත් ගස්වලට හොඳම පොහොරක් ලැබේවි...
එතකොට බිත්තර කටු...
ඒවාටත් පිළිතුර තියෙනවා. බිත්තර කටු කුස්සියේ සින්ක් එක හෝදන්න හොඳයි. බොහොම හොඳින් සින්ක් එක පිරිසිදු වෙනවා. ඒ වගේම අඩිය අල්ලපු භාජන තිබෙනවා නම් බිත්තර කටු යොදා ඒවා මදින්නත් පුළුවනි.
තවත් වැඩ තියෙනවා...
අපිට වගේම ශාඛ වලටත් කැල්සියම් හෙම අවශ්‍ය වෙනවා. බිත්තර කටු ඇන්තූරියම්, රෝස වැනි පැලවලට දැම්මොත් ඒ පැල වලට අවශ්‍ය කැල්සියම් උපයා ගනන් පුලුවනි. ඉති රසායනික පොහොර මොකටද කියල ඔබට හිතෙනවා නේද...?
තව තියෙනවා...
ඔම්ලට් වගේ දේවල් හදද්දී ඔබ බිත්තරය සිදුරු කරනවා මිස කැබිලිති වෙන්නේ නැහැ. ඉතිං මේ කටු තම්බලා ගත්තාම සවියෙන් යුක්තයි. ඒ කටුවට පස් පුරවලා මිරිස් ඇට, බටු ඇට වැනි පුංචි තවානක් හදා ගන්නත් පුලුවනි. තවත් විදිහකට මේ තම්බාගත් කටු පාට කරලා විසිතුරු නිර්මාන කරන හැකියාවත් තියෙනවා. මේ නිර්මානයක් දකින දකින වාරයක් පාසා අපතේ යන දෙයින් මවපු විස්කම් කියල ඔබට හිතේවි.
පොල් කටු, පොල් මුඩු... තැමිලි කුරුම්මබා කෝම්බ.. මේවාත් ඉතින් පළාත් පාලන අධිකාරියේ කුණු ලොරිවලට ගොඩ ගහනන් අවශ්‍ය නැහැ. පොල්මුඩු සිහින්ව ඉරල මල් පාත්තියේ පැල අසලින් විසි කරන්න පුලුවනි. ඒ පොහොර උරා ගන්න මල් හෝ එළවලු පැල දන්න නිසා ඒ කාරිය කර ගනීවි.
පොල්කටු එලියේ තිබිලා වතුර පිරුනොත් හෙම ඉඳල ඉවරයි...ඩෙංගු තවානක් කියල දඩත් කන්න වෙන්නේ..
පොල්කටු ලස්සනට මල් පාත්තිය වටේට මුනින් නවලා පස් වලින් තද කරන්න.මල් පාත්තියට ලස්සනකුත් ලැබෙනවා. ඒ වගේම පොල්කටු දිරලා ඒ පොහොරත් මල්පැලයට ලැබෙනවා .නිවසේ පොල් ලෙලි තිබෙනවා නම් ඒවත් විසි කරන්න එපා. පොල්පැලයේ මුලින් පිළිවලකට අසුරන්න..එයත් පොල්පැලයට හොඳ පොහොරක්...
නිවසේ අයගේ ග්‍රීස්මය නිවන්න තැඹිලි, කුරුම්මා බිව්වා නම් කෝම්බ අතන මෙතැන දමන්න එපා. වතුර පිරුනොත් ඔන්න ආයේමත් දෝස්මුර වැටෙයි. මේවා සිහින්ව කපලා වේලාගෙන දර ලිප පත්තු කිරමට යොදා ගනන්ත් පුලුවනි. එහෙම නැත්නම් අර පොල්කටු වගේ මුනින් අතට මල් පාත්ති වටේට තියන්න. ඒවාත් පොහොර වේවි. අනිත් අතින් කුණු ලොරියේ එන අපේම අයටත් මොන තරම් පහසුවක්ද..? එහෙම නැතුව ගමේම පොල්කටු, පොල් ලෙලි, තැඹිලි කුරුම්බා කෝම්බ...පැයට දෙකට ලොරිය පිරිලා අවසානයි. දැන් ඉතින් දෙයියනේ කියල ඒ ඇත්තන්ටත් යම් සහනයක් ලැබේවි..
ප්ලාස්ටික් බෝතල් වසංගතේට මොකද කරන්නේ..
සුලු දෙයක්...ප්ලාසිටික් බෝතලය මූඩිය වහල කට පළල් වෙන තැනින් කපන්න. දැන් එයට පස් පුරවලා ඕකිඩ් හෝ වෙනත් පැලයක්, ගොටුකොල ටිකක් වගා කර ගන්නත් පුලුවනි.
හාල් ගෙනෙන ඇසුරුමවලටත් මේ හැන්දෙන්ම බෙදන්න පුලුවන් නේද..
ඔව් හාල් අසුරලා තිබෙන කිලෝ පහ, දහයේ මලුවලටත් පස් පුරවලා ගොටුකොල, මුකුණුවැන්න, නිවිති, තම්පලා වගේ පලා නිවසේදීම හදා ගත්තාම කවුරුවත් වරෙන්තු නිකුත් කරන්නේ නැහැ. අපෝ..වස විස කිව්වාම ඇතත් නැත්ත අපිට වැඩක් නැහැ. අපේ නිවසේ අපිම පලා ටික හදා ගත්තාම අනිත් අයටත් ඔන්න වස විස නැති පලා, එළවලු , පළතුරු අපෙන් දෙන්නත් හැකි වේවි..
ෂොපින් බෑග් මහ කරදරයක්..
එහෙම කිව්වාට එක මල්ලක් මදි..අනේ මේක කැඩෙයි..තව මල්ලක් දෙනවාද...? ෂොපිං අරගෙන අපි එන්නේ ඔය විදිහට යාප්පු වෙලා. එතැනින් පස්සේ ඉතින් බැහැර කරන ගැටුළු වගේම ගැටුම්. අතන මෙතැන දාන්නත් බැහැ. පුච්චන්නත් බැහැ. ගෙනියන්න එන්නෙත් සතියේ එක දවසකයි.
එහෙමනම් මේ ෂොංපින් බෑග් අපේ ගෙදරට අඩුවෙන් ගෙනෙන විකල්ප හොයන්න බැරිද...? නිතරම ග්‍රෑම් සියයටත් මල්ලක් ඉල්ලන්නේ නැතුව කාබනික මල්ලක් ඒ කිය්නනේ රෙදි හෝ වෙනත් නැවත නැවත පාවිච්චි කරන්න හැකියාව ඇති මල්ලක් ළඟ තියාගත්තොත් ආයේ ඉතිං මැසිවිලි කිය කියා මේවා ගෙදරින් ඉවත් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔබටම මහත් වූ කරදරයක් යැයි සැලකෙන මේ එදිනෙදා සිදුවීම් ගැන දැන් මොකද හිතෙන්නේ...? විසඳුම ඔබ අතේම නේද...?
එන්. ඒ. පී. සී.