මම එදා රෑ වැඩ ඉවර කරලා කලින් ගෙදර ගියා. ඒ වෙලාවේ මගේ බිරිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ. මම ඇගේ අත අල්ලාගෙන, “මට ඔයාට දෙයක් කියන්න තියෙනවා" කියලා කිව්වා. ඇය ඒක අහන්න සූදානම් වෙලා මං ළඟ වාඩි වුණා. ඒ ගමන් නිහඬව කෑම කන්න පටන් ගත්තා. නැවතත් මම ඇගේ දෑස් වල වේදනාවක් දැක්කා. ඒත් හදිසියේම මම කට අරින්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණා. නමුත් මම කියන්න සිතන දේ ගැන ඇයට දැන්ම දැනුම් දෙන එක සුදුසුයි කියලා මම හිතුවා.
"මට දික්කසාද වෙන්න අවශ්‍යයි." මම ඒ මාතෘකාව ගැන සන්සුන්ව ඇයට කිව්වා.
ඇය මගේ වචනවලින් කෝපයට පත් වූණු බවක් පෙනෙන්නට තිබ්බේ නෑ. ඒ වෙනුවට ඇය මගෙන් මෘදු විදිහට මෙහෙම ඇසුවා. "ඇයි?"
මම ඇයගේ ඒ ප්‍රශ්නය මග හරින්න උත්සහ කළා. මේ නිසා ඇය කෝපයට පත් වුණා. ඇය අතේ තිබ්බ චොප්ස්ටික්ස් විසි කරමින් මට කෑගැසුවා.
"ඔයා මනුස්සයෙක් නෙමෙයි!"
එදා රාත්‍රියේ අපි දෙන්නා එකිනෙකා සමඟ කතා කළේ වත් නැ. ඇය හිටියේ හඬමින්. අපේ විවාහයට සිද්ධ වුණේ මොකක්ද කියලා සොයා ගන්න ඇයට අවශ්‍ය බව මම දැන සිටියා. නමුත් මට ඇයට සතුටුදායක පිළිතුරක් දෙන්න අපහසු වුණා. මොකද ඒ වෙද්දිත් මගේ හදවත මම හොරෙන් ආදරය කරපු ජේන්ට තිළිණ කරලා තිබ්බේ. මම බිරිඳට තවදුරටත් ආදරය කළේ නැ. මම ඇයට අනුකම්පා කළා විතරයි!
දැඩි වරදකාරි හැඟීමකින් යුතුව මම දික්කසාද ගිවිසුමක් සකස් කළා. ඒකේ සඳහන් වූණේ ඇයට අපේ නිවස, අපේ මෝටර් රථය සහ මගේ සමාගමේ 30% ක කොටස් හිමි වෙනවා කියලායි. ඇය ඒ දික්කසාද ගිවිසුම දිහා බලලා ඒ සැණින්ම ඒක කැබලිවලට ඉරා දැමුවා. මගේ ජීවිතයේ අවුරුදු දහයක් මාත් එක්කම ගත කළ කාන්තාව අද මට ආගන්තුකයෙක් වෙලා. මං වෙනුවෙන් ඇයගේ කාලය, සම්පත් හා ශක්තිය නාස්ති වීම ගැන මට කණගාටුවක් තිබ්බා. නමුත් මම ඊට වඩා ජේන්ට ආදරය කරපු නිසා මම කියපු දේවල් ආපසු ගන්න මට බැරි වුණා. අන්තිමේදී, ඇය මගේ ඉදිරිපිටදී හයියෙන් කෑගැසුවා. ඇගේ වේදනාව එහෙම හරි හඬද්දී නිදහස් වෙන එක ගැන මම හිත හදාගත්තා. සති කීපයක් තිස්සේ මං හිතේ පැවතුණු දික්කසාදය පිළිබඳ අදහස දැන් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
ඊළඟ දවසේ මම ඉතා පරක්කු වෙලායි ආපහු ගෙදර ආවේ. ඇය අපේ කාමරයේ මේසයට වෙලා යමක් ලියමින් හිටියේ. මම එදා රාත්‍රී ආහාරය ගත්තේ නෑ, ඉක්මණින් නිදාගන්න කියලා ඇඳට ගියා. මොකද ජේන් සමඟ සිද්ධ වුණු කණගාටුදායක සිදුවීම් නිසා එදා මම ගොඩක් වෙහෙසට පත් වෙලායි හිටියේ. පහුවදා අවදි වෙනකොටත් ඇය මේසයට වෙලා ලියමින් හිටියේ. ඒක මම ගණන් නොගත්ත නිසා මම නැවත හැරිලා නිදා ගත්තා.
පහුවදා උදෑසන ඇය මට දික්කසාද කොන්දේසි ඉදිරිපත් කළා. ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නොවුණත්, දික්කසාදයට මාසයකට පෙර දැනුම් දීමක් අවශ්‍ය වුණා. ඇය ඉල්ලා සිටියේ එම මාසය තුළ අපි දෙදෙනාම පුලුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරන්න ඕනේ කියලායි. මෙම කොන්දේසි සඳහා ඉදිරිපත් කරපු ඇයගේ හේතුව සරල එකක්. මොකද අපේ පුතාට මාසයක කාලයක් තුළදී මුහුණ දෙන්න පාසල් විභාගයක් තිබ්බ අතර අපේ බිඳුණු විවාහය නිසා ඔහුට බාධා කිරීමට ඇයට අවශ්‍ය වුණේ නෑ.
ඒකට මමත් එකඟ වුණා. නමුත් ඇයට තවත් දෙයක් කියන්න තිබ්බා. අපේ විවාහ දිනයේදී මම ඇයව මනාලියක් විදිහට අපේ කාමරයට අරන් ගිය ආකාරය සිහිපත් කරන්න කියලා ඇය මගෙන් ඉල්ලා සිටියා. ඇය ඉල්ලා සිටියේ ඉදිරියේදී උදා වෙන අපේ යුග දිවියේ අවසන් මාසයේ සෑම දවසකම මම ඇයව ඔසවාගෙන අපේ නිදන කාමරයෙන් පිට වෙලා නිවසෙන් පිටත් වෙන දොර ගාවට වෙනකල් ඒ ආකාරයටම ගෙනියන්න ඕනේ කියලායි. මට හිතුනේ ඇයට පිස්සු හැදෙන්න ළං වෙලාද කියලයි. ඒත් ඒ අපේ අන්තිම මාසය නිසා ඇගේ අමුතු ඉල්ලීම මම පිළිගත්තා.
මම ජේන්ට කිව්වා මගේ බිරිඳගේ දික්කසාද කොන්දේසි ගැන. ඒවා අහලා ඇය හයියෙන් සිනාසුණු අතර එය විකාරයක් කියලා සිතුවා. මගේ බිරිඳ මොන උපක්‍රම යෙදුවත් මම ඇගෙන් දික්කසාද වෙන්නම ඕනේ කියලායි ජේන් මට නින්දා සහගත ලෙස බණිමින් කිව්වේ.
මගේ දික්කසාද අභිප්‍රාය පැහැදිලිව ප්‍රකාශ කරපු නිසා මට සහ මගේ බිරිඳට කිසිම ශරීර සම්බන්ධතාවයක් ඒ වෙද්දී තිබුණේ නෑ. ඒ නිසා මම ඇයව පළමු දිනයේ කාමරයෙන් පිටතට උස්සගෙන අරන් යනකොට, අපි දෙදෙනාටම දැනුණේ අවුල්සහගත හැඟීමක්. ඒත් ඒක දැකපු අපේ පුතා අපිට පිටුපසින් ඉඳන් "තාත්තා අම්මාව අතේ තියාගෙන ඉන්නවා" කියමින් සතුටින් අත්පොඩි ගහන්න පටන් ගත්තා. පුතාගේ වචනවලින් මට දැනුණේ වේදනාවක්. නිදන කාමරයේ ඉඳන් සාලය දක්වාත්, පස්සේ නිවසින් පිටවෙන දොර දක්වාත් මම ඇය සමඟ මගේ අත් වලින් ඔසවාගෙන මීටර් දහයකට වඩා එක්කන් ගියා. එතකොට ඇය ඇස් දෙක පියාගෙන මෘදු විදිහට මෙහෙම කිව්වා. "දික්කසාදය ගැන අපේ පුතාට කියන්න එපා." ඒ වෙලාවේ මම තරමක් කලබලයට පත් වුණා. මම ඇයව දොර ළඟදී බිමින් තිබ්බා. ඇය ඇගේ කාර්‍යාලීය බස් රථය වෙත ගියා. මම තනියම කාර්යාලයට ගියා.
දෙවන දිනයේදී අපි දෙදෙනාම වඩාත් පහසුවෙන් ක්‍රියා කළා. ඇය මගේ පපුවට හේත්තු වුණා. ඇගේ බ්ලවුස් එකේ සුවඳ මට දැනෙන්නට පටන් ගත්තා. මම දීර්ඝ කාලයක් තිස්සේ මේ කාන්තාව දිහා හොඳින් බලලා නැති බව මට වැටහුණා. මට තේරුණා ඇය තවදුරටත් තරුණියක් නොවන බව. ඇගේ මුහුණේ සිහින් රැළි මතු වෙලා තිබුණා. ඇගේ හිසකෙස් අළු පාටට හැරවිලා තිබ්බා. අපේ විවාහය ඇයව විනාශ කරලා දමලා! විනාඩියක් අරන් මම කල්පනා කළා මම ඇය වෙනුවෙන් මේ කාල සීමාවේදී මොනවද කළේ කියලා.
හතරවෙනි දවසේදී මම ඇයව ඔසවනකොට මට නැවත සමීප බවක් දැනුණා. මේ කාන්තාව තමයි ඇගේ ජීවිතයෙන් අවුරුදු දහයක් මං වෙනුවෙන්ම කැප කළේ. පස්වන හා හයවන දින වල අපගේ සමීපභාවය පිළිබඳ හැඟීම නැවත වර්ධනය වන බව මට තේරෙන්න පටන් ගත්තා. මම මේ ගැන ජේන්ට කිව්වේ නැහැ. මාසය ගෙවී යන්න ආසන්න කාලයේදී ඇයව රැගෙන යාම මට ගොඩක් පහසු වුණා. සමහර විට එදිනෙදා අපි කරපු වැඩ වලින් මාව ශක්තිමත් කළා වෙන්න පුලුවන්.
ඇය එක උදෑසනක අඳින්න ඇඳුමක් හොය හොය හිටියේ. ඒ සඳහා ඇය ඇඳුම් කිහිපයක් ම උත්සාහ කලා. නමුත් සුදුසු එකක් සොයා ගැනීමට නොහැකි වුණා. ඒ වෙලාවේ ඇය සුසුම්ලමින් කිව්වේ "මගේ ඇඳුම් ඔක්කොම ලොකු වෙලා" කියලායි. ඇය ඒ වෙද්දි කොයි තරම් සිහින් බවට පත් වෙලාද කියලා මට තේරුණා. මට ඇයව වඩාත් පහසුවෙන් ඔසවාගෙන යන්න පුලුවන් වුණේ ඒකයි. හදිසියේම ඒ සිතුවිල්ල මගේ හිතට පහර දුන්නා. ඇය ඇගේ හදවතේ එතරම් වේදනාවක් හා තිත්ත බවක් තැන්පත් කර ගෙන තිබුණා. මම ඒ වෙලාවේ ඇගේ හිස ස්පර්ශ කරමින් අත ගෑවා.
අපේ පුතා ඒ මොහොතේ ඇවිත් කිව්වා "තාත්තේ, අම්මව එළියට ගන්න වෙලාව හරි" කියලා. එයාගේ තාත්තා අම්මාව ඔසවාගෙන රැගෙන යන ආකාරය දැකීම එයාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබ්බේ. මගේ බිරිඳ අපේ පුතාට එයා ළඟට එන්න කියලා ඉඟි කරමින් ඔහුව තදින් බදාගත්තා. මේ අන්තිම මොහොතේදී මගේ අදහස වෙනස් වෙයි කියලා මම බිය වුණු නිසා මම මගේ මුහුණ ඉවතට හරවා ගත්තා. මම ඇයව මගේ අත්වල තබාගෙන, නිදන කාමරයේ ඉඳන් සාලය හරහා දොර දක්වා ඇවිද ගියා. එදා ඇය ඇගේ අත් දෙක මගේ බෙල්ල වටා මෘදු හා ස්වභාවිකව ආකාරයට දමා ගත්තා. මම ඇගේ සිරුර තදින් අල්ලා ගත්තා. හරියට ඒක අපේ විවාහ දිනය වගේ.
නමුත් ඇගේ සැහැල්ලු බර මට දුකක් ගෙන දුන්නා. අන්තිම දවසේ, මම ඇයව මගේ අත්වල තබාගෙන ඉන්නකොට මට පියවරක් ඉදිරියට තබා ගන්න බැරි වුණා. අපේ පුතා ඉස්කෝලේ ගිහින් තිබුනේ. ඒ වෙලාවේ මම ඇයව තදින් අල්ලාගෙන කිව්වා "අපේ ජීවිත වලට මේ තරම් සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා මට මෙච්චර කල් මතක් වුණේ නෑ" කියලා. ඊට පස්සේ මම කාර්යාලයට ගිහින් කාර් එකේ දොර අගුළු වත් දාන්නේ නැතුව පුලුවන් තරම් ඉක්මණින් වේගයෙන් කාර් එකෙන් එළියට පැන්නා. මොකද පුංචි ප්‍රමාදයකින් හරි මගේ අදහස වෙනස් වෙයි කියලා මම බය වුණා. මම ඉක්මණින් කාර්‍යාලයේ උඩ තට්ටුවට ගියා. ජේන් හිටපු කාමරයේ දොර ඇරලා මම ඇයට කිව්වා "සමාවෙන්න ජේන්, මට දික්කසාදය තවදුරටත් අවශ්‍ය නැහැ." කියලා.
ඇය මං දිහා බලලා මවිතයට පත් වුණා. පස්සේ මගේ නළල ස්පර්ශ කරමින් "ඔයාට උණ ද?" කියලා ඇය ඇහුවා. මම ඇගේ අත මගේ හිසෙන් ඉවතට දාලා මෙහෙම කිව්වා. "කණගාටුයි ජේන්, මම කිව්වේ මම දික්කසාද වෙන්නේ නැහැ කියලායි. මගේ විවාහ ජීවිතය නීරස වෙන්න ඇත්තේ එයා සහ මම අපේ ජීවිතයේ පුංචි දේවල් අගය නොකිරීම නිසා මිස අපි එකිනෙකාට ආදරය නොකරන නිසා නෙමෙයි. අපේ විවාහ දිනයේදී මමයි ඇයව මගේ නිවසට අරන් ගියේ. ඒ නිසා මරණය අපව වෙන් කරනකල් මම ඇයව මං ළඟ තබා ගන්න ඕනේ කියලා දැන් මට තේරෙනවා."
ජේන් හදිසියේ නැගිටින්න උත්සහ කරන බවක් පෙනෙන්නට තිබුණා. ඇය නැගිටපු ගමන් මට හයියෙන් කම්මුල් පහරක් දීලා දොරට ගසමින් කඳුළු සලන්නට පටන් ගත්තා. මම පහළට ඇවිදගෙන ගියා. මඟදී තිබ්බ මල් සාප්පුවෙන් මම මගේ බිරිඳ වෙනුවෙන් නැවුම් මල් කළඹක් ඇණවුම් කළා. වෙළඳසැලේ හිමිකාරයා මගෙන් ඇහුවා කාඩ්පතේ මොනවද ලියන්නේ කියලා. මම සිනාසෙමින් මෙහෙම ලිව්වා, “මරණය අපව වෙන් කරන තුරු මම සෑම උදෑසනකම ඔබව රැගෙන යනවා”.
එදා සවස් වරුවේ මම ගෙදරට ආවා. මගේ අතේ තිබ්බේ මල්. මගේ මුහුණේ තිබ්බේ සිනහවක්. ඒවා අරන් මම ඇයව සොයන් උඩුමහලට දුවද්දී ඇය ඇඳ මත වැටිලා හිටියේ. ඒ වෙද්දී ඇය මිය ගිහින්.
මගේ බිරිඳ මාස ගණනාවක් තිස්සේ පිළිකාවක් සමඟ පොරබදමින් සිටිද්දී, මම ජේන් සමඟ කාර්යබහුල වෙලා. ඇය ඉක්මනින් මිය යන බව ඇය දැනන් ඉඳලා තියනවා. ඒ අතරතුර දික්කසාදයකට අපි තල්ලු වුණොත් අපේ පුතාගෙන් ලැබෙන ඕනෑම ඍණාත්මක ප්‍රතිචාරයකින් මාව බේරා ගැනීමට ඇයට අවශ්‍ය වෙලා තිබ්බා. ඇය අවම වශයෙන් උත්සහ කරලා තිබ්බේ අපේ පුතාගේ ඇස් ඉස්සරහා මාව ආදරණීය ස්වාමිපුරුෂයෙක් කරන්නයි.
පාඩම : සම්බන්ධතාවයකදී සැබවින්ම වැදගත් වන්නේ ඔබේ ජීවිතයේදී ආදරය වෙනුවෙන් දරන පුංචි උත්සහයන්, ආදරණීය හැඟීම් ආදී දේවල් විතරයි. එහෙම නැතුව විශාල මන්දිර, මෝටර් රථ, දේපළ, බැංකුවේ මුදල් කියන දේවල් නෙමෙයි. මේවා ඔබේ ජීවිතයේ සන්තෝෂයට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා තමයි. නමුත් ඔබට අවශ්‍ය අධ්‍යාත්මික සතුට ලබා දෙන්න ඒවාට බැහැ. එම නිසා ඔබේ සහකරු හෝ සහකාරියගේ හොඳම මිතුරා බවට පත් වෙන්න කාලය සොයාගන්න. සැබෑ ප්‍රීතිමත් විවාහයක් පවත්වන්න උත්සහ කරන්න.