සෑම කාන්තාවක්ම ළඟ තියෙන ආම්පන්න අතරේ හෑන්ඩ් බෑග් එකත් ඉතාමත් විශේෂයි. ඇත්තටම හෑන්ඩ් බෑග් එක කියන්නෙත් එක්තරා ෆැෂන් එකක්. දැනටමත් ඔයා ගාව ඇඳුමේ පාටට ගැළපෙන විදිහේ විවිධ හෑන්ඩ් බෑග් කිහිපයක්ම ඇති. ගොඩක් කාන්තාවන්ගේ හෑන්ඩ් බෑග් එක ගමන් මල්ල වගේනේ. මොකද කොහේ ගියත් හෑන්ඩ් බෑග් එකේ තමයි හැමදේම දාගෙන යන්නේ. සාප්පුවකට ගිහිල්ලා හෑන්ඩ් බෑග් එකක් මිලදි ගන්නකොට ගොඩක් අය බලන්නේ අතේ තියෙන ගානට බෑග් එක වටිනවද කියලා විතරයි. එහෙමත් නැත්තම් බෑගයේ පාට ගැන විතරයි අවධානය යොමු කරන්නේ. මේ කරුණු කාරණා ටික පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ඔයා හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්න ගියාම. අද Hadakari අපි තීරණය කළා හෑන්ඩ් බෑග් එකක් තෝරා ගැනීමේදී වැදගත් වෙන tips කිහිපයක් ගැන ඔයා එක්ක කතා කරන්න. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ එතකොට ඔයාටත් පුළුවන් වෙයි ලස්සන වගේම වැදගත් පෙනුමක් තියෙන හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්න.
ඔයා තෝරා ගන්නා Hand Bag එක ආරක්ෂිතද ?
ඔයා මිලදි ගන්නා අත් බෑගය වඩාත් සුරක්ෂිත විය යුතුයි. මොකද ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් උදේ සවස ඔයාට පොදු වාහනයක තමයි ගමන් කරන්න වෙන්නේ. ඉතිං මෙවැනි තත්ත්වයකදී ඔයාගේ බඩු බාහිරාදිය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයා දන්නවානේ අපේ රටේ පොදු වාහනයක ගමන් කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා. මේ වාහනවල අනන්තවත් ඉන්නවා අනුන්ගේ දේවල් සොරකම් කරන මිනිසුන්. ඉතිං ඔයාට මෙවැනි මිනිසුන්ගෙන් ඔයාගේ බඩුබාහිරාදිය පරිස්සම් කර ගන්න ඕන බෑග් එකේ ලස්සන විතරක් තිබිලා මදි.
Hand Bag එකේ ශක්තිමත් බව ගැන හිතන්න
ඔයා බෑගයක් ගන්න ගියාම වියදම් කරන මුදලට සරිලන බෑගය නෙමෙයි හොඳම වර්ගයේ අත් බෑගයක් තෝරා ගන්න. එතකොට ඔයාට පුළුවන් දිර්ඝ කාලයක් බෑගය පාවිච්චි කරන්න. විශේෂයෙන් ඔයා තෝරා ගන්න බෑගය නිෂ්පාදනය කරලා තියෙන අමුද්‍රව්‍ය පිළිබදව අවධානය යොමු කරන්න. අද ගොඩක් බෑග් වර්ග ලෙදර් වලින් නිෂ්පාදනය කරනවා. මේවායේ ශක්තිමත් බව හොදට තියෙනවා. ඒ වගේම සිත්තටික් සම් පාවිච්චි කරලා හදන බෑග් අද වෙළෙදපොලේ තියෙනවා. මේවායේ මිල අධික වුණත් ඔයාට දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් අත් බෑගයේ ෂිපර් සහ අත් බෑගයේ පටිවල ශක්තිමත් බව ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.
භාවිත කිරීමට තියෙන පහසුව ගැන හිතන්න
ඔයා අත් බෑගයක් මිලදි ගන්නේ ගෙදර තියලා යන්න නෙමෙයිනේ. ඉතිං දිනපතා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ අත් බෑගයක් තෝරා ගැනීම තමයි වැදගත්ම දේ වෙන්නේ. ඔයාගේ කාර්යාලයේ ලියකියවිලි වගේ දේවල් තියෙනවා නම් එහෙමත් නැත්තම් ඔයාට පෞද්ගලිකව අත්‍යාවශ්‍ය වෙන දේවල් රැගෙන යන්න පුළුවන් අත් බෑගයක් විය යුතුයි. ඔයා තෝරා ගත්ත බෑගය සුමට රෙදි වර්ගවලින් නිෂ්පාදනය කරලා තියෙනවා නම් ඇතැම් විට බඩු භාණ්ඩ වැඩිපුර දැමිමෙන් ඉරිලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔයාට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් අත් බෑගයක් තෝරා ගන්න.
වර්ණය ගැන සැළකිලිමත් වෙන්න
අපි පාට පාට බෑග් රැගෙන යන්නේ පාටියකට යනකොටනේ. එදිනෙදා සමාන්‍ය වැඩකට අපි අරන් යන්නේ චාම් වගේම සරල ගණයේ අත් බෑගයක්. ඉතිං අත් බෑගයක් තෝරා ගන්නකොට ඕනෑම ඇඳුමකට දාගෙන යන්න පුළුවන් විදිහේ අත් බෑගයක් තෝරා ගන්න. විශේෂයෙව්ම ඕනෑම ආකාරයේ විලාසිතාවකට ගැළපෙන වර්ණ සහිත අත් බෑගයක් මිලදි ගැනීම වඩාත් හොඳයි. අළු, කළු, පැහැයේ අත් බෑගයක් ඔයාට තියෙනව නම් කිසිම ගැටළුවක් නැතුව ඕනෑම අවස්ථාවකට රැගෙන යන්න පුළුවන්.
අවස්ථාවට උචිත විදිහට Hand Bag එකක් තෝරා ගන්න
ඔයා පාටියකට අරගෙන යන බෑග් එක ඔෆිස් අරගෙන යන්න ගැළපෙන්නේ නෑනේ. ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් පොකට් කිහිපයක් තියෙන බෑග් එකක් තෝරා ගන්න. මොකද ඔයාගේ ජංගම දුරකථනය, ටිෂු පැකට් එකක්, මාරු කාසී දා ගන්න පොකට් කිහිපයක් තියෙන බෑග් එකක් තිබීම වැදගත්. විශේෂයෙන්ම ඔයා අත් බෑග් එකක් තෝරා ගන්නකොට රහස් පොකට් එකක් තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා. අත් බෑගයේ ව්‍යුහාත්මක හැඩය ගැන අවධානය යොමු කිරිමත් ඉතාමත් වැදගත්. අද වෙළෙදපොළේ විවිධ හැඩයන්ගෙන් යුතු අත් බැග් දක්නට ලැබෙනවා. ඔයාට භාවිතා කරන්න පුළුවන් හා පහසු විදිහේ හැඩයකින් යුතු අත් බෑගයක් තෝරා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයා තෝරන අත් බෑගයේ හැඩය අනුව එය නිර්මාණය කරන්න යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා කල් පැවැත්ම ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.
උසස් තත්ත්වයේ අත් බෑගයක් තෝරා ගන්න
සමාන්‍යයෙන් උසස් තත්ත්වයේ අත් බෑගයක් ගන්න ඔයාට යම් මුදලක් වැය වෙනවා. එහෙම කියලා ඔයා මුදලින් අඩු බෑගයක් භාවිත කළොත් වෙන්න්නේ ටික දවසක් යන්න කලින් ඔයාගේ බෑගය පාවිච්චි කරන්න බැරි වෙන එක. ඒ නිසා ගුණාමත්මක බවෙන් වැඩි දිගු කල් පැවැත්මක් තියෙන අත් බෑගයක් මිලදී ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔයා ළඟ තියෙන ඕනෑම ආකාරයේ ඇඳුමක වර්ණයට ගැළපෙන වර්ගයේ අත් බෑගයක් තෝරා ගැනීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.
පමණට වඩා විසිතුරු බෑග් මිලදි ගැනීමෙන් බෑගයේ වැදගත් පෙනුම හීන විය හැකියි
අද වෙළෙදපොළේ විවිධ වර්ගයේ බෑග් තියෙනවා. හැම බෑගයකින්ම ඔයාට වැදගත් පෙනුමක් එකතු වෙන්නේ නෑ. සමහර බෑග් වල විශාල ලාංජන තියෙනවා. කල්ගත වීමෙන් මේ අත් බෑග්වල තියෙන ලාංජන දුර්වර්ණ වෙනවා. එයින් ඔයාගේ බෑගයේ වැදගත් පෙනුම අඩු වෙලා යනවා. විශේෂයෙන් මේ ලාංජන සවි කරල තියෙන තැන් වලින් බෑග් එක ඉරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට ඔයාට දිගු කාලයක් පාවිච්චි කරන්න වෙන්නේ නෑ.
බෑගය පිරිසිදු තබා ගන්න
ඕනෑම දෙයක කල් පැවැත්ම තීරණය වෙන්නේ ඔයා බෑගය පාවිච්චි කරන ආකාරය අනුවනේ. ඔයා අවට පරිසරයට නිරාවරණය වන විට කුණු දුහුවිලි ඉක්මනින් රැදෙනවා බෑගයේ. ඔයා නිසියාකාරය බෑගය පිරිසිදු නොකළහොත් කාලයක් පාවිච්චි කරන්න අසිරුයි. ඒ නිසා දුහුවිලි පිස දමමින් බෑගය පිරිසිදුව තියා ගන්න අමතක කරන්න එපා.