ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය මුල් කාලයේදී එහෙමත් නැත්නම් මෑතක් වෙනකල්ම පීනට් බටර් සහ ජෙලි වගේ රසවත් සුසංයොගයකින් බැඳිලා ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න ඇති. නමුත් ඒ බැඳීමම දැන් තෙල් හා ජලය වගේ එකට එකතු වෙන්නේ නැති සංයෝග දෙකක් බවට පත් වෙලා තියන බවක් ඔබට පෙනෙනවාද? එහෙනම් ඔබේ විවාහය නැවත උපදේශන සහායකින් හෝ ශක්තිමත් කර ගන්න කාලය පැමිණිලා තිබෙනවා වෙන්න පුළුවන්. ඔබට උදව් අවශ්‍ය වෙන බව පිළිගන්න එකම නිහතමානී කාරණයක්. ඒ වගේම ඒකෙන් ඔබව සතුටුදායක අවසානයකට ගෙන යයි : විවෘත සන්නිවේදනය මත ගොඩනැඟුණු සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඔබ දෙදෙනා අතර පවත්වා ගන්නත් පුළුවන් වෙයි. සායනික මනෝ විද්‍යාඥයින් හෝ වෘත්තීමය මනෝ උපදේශකයින් කියන්නේ ඒ සඳහා ඔබට උදව් ලබා දෙන්න ඉන්න හොඳම වෘත්තිකයන්. ඒ අනුව ඔවුන් විසින් සිදු කරන couples therapy හරහා ඔබේ විනාශ වෙමින් යන බැඳීම නැවත පණ ගන්වා ගන්න ලොකු සහයක් ලබා ගන්න පුළුවන්. ඒ ගැන දැනුම්වත් කිරීමක් අපි අද ඔබට කරන්නම්.
පහත සංඥා 5 විවාහක ජෝඩු වලට උපදේශනය සඳහා යොමු වෙන්න කාලය හඟවන කරුණු වෙන්න පුළුවන් :
විවාහයන් කියන්නෙත් ඇඟිලි සලකුණු වගේ. ඇඟිලි සළකුණු දෙකක කිසිම වෙලාවක එක වගේ සමානකම් දකින්න බැහැ. සෑම සහකාරියක්ම/සහකරුවෙක්ම තමන්ගේ ආදර සම්බන්ධතාවයට විවිධ බලාපොරොත්තු, සිහින, පෞරුෂත්වයන් සහ පවුලේ ආභාෂයන් සමූහයක් අරගෙනයි එන්නේ. ඒ නිසා ඔබ දෙදෙනා එකට මිශ්‍ර වුණාම ඒක ගිනිකෙළියක්, කුණාටුවක් හෝ ඒ දෙකම සහිත අවස්ථා විවාහ ජීවිතයේදී උදා වෙන්නත් පුළුවන්. වෛද්‍යවරු පවසන්නේ උපදේශන උපකාර ලබා ගැනීමට උපදෙස් පැතීමට හැම දෙනාටම හරියන එක වෙලාවක් කියලා නැති බවයි. එය කපල් එකෙන් කපල් එකට ඔවුන්ගේ ප්‍රශ්ණය අනුව වෙනස් වෙනවා .
නමුත් පුලුවන් තරම් කලින්ම උපදේශනය ලබා ගන්න එක තමයි හොඳම තීරණය වෙන්නේ. නමුත් ඒක රඳා පවතින්නේ විවාහක යුවළයන්ගේ හැසිරීම මතයි. සමහර යුවළයන් උපදේශනය ලබා ගන්නේ එක් සහකරුවෙක් අවසානයේදී ඒ සඳහා යාමට කැමති වුණාමයි. නමුත් ඒ වෙද්දී බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය දික්කසාදයේ හෝ වෙන්වීමේ අද්දරයි තියෙන්නේ.
ඒ නිසා මෙම සංඥා වලට ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ නිවස අළු වෙන්න කලින් ගින්න නිවා දැමීමට ඔබට පුළුවන් වෙයි :
1 නරක සන්නිවේදනය:
ඔබේ නිවසේ ඇත්තටම තියෙන්නේ කෑගැසමින් රණ්ඩු වීම් හෝ කතා නොකර සිටීම් නම් ඒක ඔබේ සම්බන්ධතාවයේ සන්නිවේදන කටයුතු සඳහා සුදුසු වෙන්නේ නෑ. එහෙම පරිසරයක ජීවත් වෙන බොහෝ විවාහක ජෝඩු පවසලා තියෙන්නේ 'අපි නිරන්තරයෙන් එකම ප්‍රශ්නයට නැවත නැවතත් තර්ක කරන බවක් දැනෙනවා' කියලායි.
2 ශාරීරික හෝ මානසික සමීපතාවයක් නොමැතිකම:
විවාහක ජෝඩු ගොඩක් වෙලාවට කියනවා ‘අපි ජීවත් වෙන්නේ නේවාසිකයන් වගේ. අපගේ විවාහයේ තවදුරටත් ලිංගික ආකර්ෂණයක්, සතුටින් එක් වීමක් නෑ. අපි එක ගොඩනැගිල්ලක ඉන්න ආගන්තුකයන් වගේ.'
3 බිඳුණු විශ්වාසය:
ඔබේ සහකරු/සහකාරිය බොරු කියන බවට ඔබ සැක කරනවාද? හෝ ඔබ ඔහුට හෝ ඇයට බොරු කරනවාද.. සමහරවිට දැනටමත් ඔබ දෙදෙනා අතරේ අවිශ්වාසය ඇති වෙලා ඇති. නමුත් වංචාව බොහෝ ආකාරවලින් පැමිණෙන්න පුළුවන්. එය ශාරීරික ලෙස සිදුවුණු දෙයක්ම වෙන්න ඕනේ නෑ. දුරකතන, අන්තර්ජාලය හරහා හෝ සමාජ ජාල මාධ්‍ය භාවිතයෙන් පවා විශ්වාසය බිඳ වැටෙන දේවල වෙන්න පුළුවන්.
4 ප්‍රධාන ජීවිත වෙනස්කම්:
දරුවෙකුගේ උපත, ආදරණීයයෙකුගේ මරණය, නිවාස මාරු කිරීම, නව රැකියාවක් හෝ විශ්‍රාම ගැනීම ආදී වෙනස්කම් හෝ වෙනත් ප්‍රබල වෙනස්කම් නිසා ඔබගේ විවාහයට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
5 ඇබ්බැහි වීම්:
මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව, කාමුක දර්ශන හෝ වියදම් වලට ඇබ්බැහි වීම නිසා විවාහ සම්බන්ධතාවයකට බාධා වෙන්න පුළුවන්.
Couples therapy චිකිත්සාවේ වාසි -
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරු කියන විදිහට ඔබට හොඳ ප්‍රතිපත්ති තුනක් අවශ්‍ය වෙනවා : හොඳ සන්නිවේදනය, අවංකභාවය සහ විශ්වාසය. Couples therapy ක්‍රමය මඟින් ඔබට මේ තුනම යථා තත්වයට පත් කරගන්නට හෝ ස්ථාපිත කරගන්නට උපකාර ලැබෙනවා.
විවාහ උපදේශනයට කරන්න පුළුවන් දේවල්:
සන්නිවේදනය වැඩි දියුණු වෙනවා. එතකොට ඔබ දෙදෙනා එකිනෙකාට ඇහුම්කන් දෙන බවක්, තේරුම් ගන්න බවක් සහ සම්බන්ධ වී ඇති බවක් දැනෙනවා.
ඔබ දෙදෙනා අතර මානසික බැඳීම ශක්තිමත් කරනවා.
සහයෝගිතාව වැඩි කරනවා.
මානසික ආතතිය අඩු කරනවා.
Couples therapy කියන්නේ වෙන්වීමට හෝ දික්කසාද වීමට තියන එක් මාර්ගයක් යන අදහස සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයට අනුව වර්තමානයේදී ඇමරිකාවේ විවාහ උපදේශනය සඳහා 75% ක් පමණ ජෝඩු පිවිසෙනවා. ඒ අතර අනිසි සම්බන්ධතා ඇති අය සහ දැනටමත් ක්‍රියාකාරී මට්ටමින් වෙන් වී සිටින ජෝඩු 25% ක් වගේ විශාල කොටසක් ද ඉන්නවා.
විවාහ උපදේශනය මගින් තමන්ගේ විවාහයන් නැවත ශක්තිමත් කරගනිමින් ගැටලු බේරාගත්ත ජෝඩු ඕනෑ තරම් ඉන්නවා. ප්‍රතිකාර ලබා ගත්ත විවාහක ජෝඩු ප්‍රතිකාර වලින් පස්සේ ඔවුන්ගේ විවාහ ජීවිතය වඩා හොඳ තත්ත්වයකට පත් වුණ බව ප්‍රකාශ කරලා තියනවා. ඔවුන් බොහෝ විට පවසන්නේ 'අපි දැන් වැඩියෙන් සිනාසෙනවා. අපි කරන්නේත් විනෝදජනක දේවල්' කියලායි. ඉතින් ජීවිතයේ වැඩි විනෝදයක් අවශ්‍ය නොවන්නේ කාටද?
විවාහ උපදේශකයෙකු සොයා ගන්නේ කොහොමද?
නිවැරදි උපදේශකයෙක් සොයා ගැනීම සමහර වෙලාවට ඔබට පිදුරු මඩුවක ඉඳිකටුවක් සොයනවා වගේ හැඟෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ වැඩේ ආරම්භ කරන්න ඕනේ ඔබේ ගැඹුරුතම, අඳුරුතම රහස් කියන්න තරම් විශ්වාසවන්ත බවක් ඇති වෙන උපදේශකයෙක් සමඟයි. ඔබ තෝර ගන්න උපදේශකයාට ලෝකයේ ශ්‍රේෂ්ඨතම විශ්ව විද්‍යාල වලින් ඩිප්ලෝමා හෝ උපාධි ලබා තිබුණත් වැඩක් නැහැ, ඔහු/ඇය සමඟ අවංකව කතා කරන්න පුළුවන් කියලා ඔබට හැඟෙන්නේ නැත්නම්. මොකද අන්තිමේදී ඔබ දරපු උත්සහයන් සියල්ල නිෂ්ඵල වෙන්න පුළුවන්.
කරදර වෙන්න එපා. ඔබ හෝ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ අලුත් ජීවිත පුහුණුකරු සමඟ නිසි ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැති බවක් හැඟෙනවා නම්, ඔබ දෙදෙනාටම සෑහෙන්න වෙන්න පුළුවන් උපදේශකයෙක් සොයා ගන්නාතුරු සොයා බැලීම් දිගටම කරගෙන යන්න.