දින කැලැන්ඩරය පටන් ගන්නේ වගේම අවසන් වෙන්නෙත් සැමැරම් වලින්. දින කැලැන්ඩරයේ කොතෙකුත් නම් දවස් අපි ස්මරණය කරනවාද? සමරනවාද? ඔන්න ආදරණිය අම්මේ, තාත්තේ ඔක්තොම්බර් පළවෙනිදා කියන්නෙත් අන්න ඒ වගේ සැමරුම්වලින් පිරී ඉතිරි යන දවසක්. ලෝක ළමා දින සැමරුම යෙදිලා තියෙන්නේ අද වගේ දවසක. ඔන්න ඉතිං අද අපේ රටේ හැමතැනම වෙන කවදාවකත් නැති විදිහට ළමා දින සැමරුම් උත්සව සංවිධානය කරනවා ලෝක ළමා දිනය වෙනුවෙන්. ළමා අපයෝජන, ළමා අයතීන් උල්ලංඝනය කිරීම්, ළමා හිංසන, ළමා මෙහෙකාර සේවය මේ ආදී අකටයුතුකම් සියල්ල ක්ෂණයෙන් අමතක කරලා දින කිහිපයක් පිළිවෙතින් සුදානම් වෙලා තමයි අද වගේ දවසක අපි ලෝක ළමා දිනය සමරන්නේ. ඒත් අවසානාවකට ලෝක ළමා දිනය සමරන අද වගේ දවසක, ඔයා මේ ලිපිය කියවන මේ මොහොතෙත් ළමා දිනය විතරක් නෙමෙයි ළමා කාලයම උදුරාගත්, ළමා ලෝකය අහිමි වුණු පොඩි උන්ගේ සෝ සුසුම් මේ ගුවනට එකතු වෙනවා නිසැකැයි.
පුංචි ළමයි අපි මල් වගේ කියලා කිව්වට, ඔවුන් තමයි හෙට අපේ මව්බිමේ උරුමකරුවන් කියලා පුරාජේරු කිව්වට අපි අපිටම නොදැනීම ඔවුන්ට හිමි අයිතිවාසීකම්, ළමා නිදහස අහුරා දමමින් ළමා ලෝකය උදුරා ගන්නවා. අද හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔයා දරුවන්ට ආදරය කරන ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නම් එහෙමත් නොමැති නම් දරුවන්ට ආදරය කරන වැඩිහිටියෙක් නම් ඔයාට ලෝක ළමා දිනය කියන්නේ අවුරුද්දෙන් ගෙවී අතීතයට එකතු වෙන සමාන්‍ය දවසක් පමණයි. මොකද දරුවන්ට ආදරය දෙන්න, ඔවුන් ගැන හොයලා බලලා ආරක්ෂා කරන්න අද දවස විතරක් ප්‍රමාණවත් නොවෙන හින්දා. ඉතිං ඔයා අද ඔයාගේ දරුවන් එක්ක ලෝක ළමා දිනය සමරන්න කලින් මේ කරුණු ටික ඔයා අතින් ඔයාගේ දරුවන්ට ඉටු වෙනද කියවලා බලන්නකෝ.
දරුවන්ගේ නිදහස සීමා කරන්න එපා
අද ජීවත් වෙන පුංචි දුවා දරුවන්ට ළමා ලෝකය අහිමිවෙලා ගිහින්. කුඩා කාලයේ ඉඳලා අම්මලා තාත්තාලා දරුවාව යාන්ත්‍රික වටපිටාවකට තමයි හුරු කරලා තියෙන්නේ. නිදහසේ හැදෙන්න වැඩෙන්න, කෙලිදොලෙන් ගත කාලය ගත කරන්න, නිර්මාණශීලිව හිතන්න පුළුවන් පරිසරයක් අද දරුවන්ට නැහැ. හැඩකාරී අපිට අනුව නම් දරුවන්ගේ නිදහස අද ජීවත්වෙන වටපිටාව තුළවත් දකින්න ලැබෙන්නේ නැති තරම්. පවුල, පාසල, පංති කාමරය තුළ පවා දරුවන්ව සීමාවකට කොටු වෙලා. ඒ සීමාවෙන් දරුවන්ට පැනලා යන්න හැකියාවක් නැති නිසා අකමැත්තෙන් හරි ඉන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ ඔයාගේ දරුවා එදිනෙදා ජීවිතය ගත කරන්නේ පීඩනයකින් වගේම ආතතියෙන්. ළමා කාලය විතරක් නෙමෙයි තරුණ කාලයත් මේ ආතතිය, පීඩනය නිසා ඔවුන්ට මිඩංගු කරන්න වෙනවා. අන්න ඒ නිසා ඔයාගේ දරුවාගේ නිදහස ඔහුට දෙන්න. එවිට ඔයාටත් නොදැනීම ඔයාගේ දරුවා ගුණවත් නැණවත් දරුවෙක් බවට පත් වේවී.
ආදරය රැකවරණය නොඅඩුව දෙන්න
අද තියෙන කාර්යබහුල පරිසරය ඇතුළේ ගෙදරක අම්මා වගේම තාත්තාත් රැකියාව කරනවා. ගොඩක් වේලාවට දරුවෝ හැදෙන්නේ වැඩෙන්නේ ආච්චි සීයා ගාව. එහෙමත් නැතිනම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක. ඉතිං දරුවත් දෙමාපියන් අතරත් තියෙන බැදීම් ටිකින් ටික දුරස් වෙලා යනවා. දරුවා පුංචි කාලේ ඉඳන්ම දෙමාපියන්ට අවනත නෑ. දෙමාපින්ව ගණනකට ගන්නේ නෑ. අන්න එතකොට තමයි ඔයාට කියන්න වෙන්නේ මගේ දරුවා හරිම මුරණ්ඩුයි. කීකරු නෑ. කියන දෙයක් අහන්නේ නෑ කියලා. ඔයා පුංචි කාලේ ඉඳන් අඩුවක් නැතුව දරුවාට ආදරය, රැකවරණය දුන්නා නම් ඔයාගේ දැරුවා ඔයාගෙන් ඈත් නොවෙන්නත් තිබුණා. පුංචි දරුවන් කැමතියි අම්මාගේ තාත්තාගේ ආදරය ලබන්න. ඔවුන් නිරන්තරයෙන් ඒ ආදරය බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ආදරය නොලැබෙනකොට සිදුවෙන සියල්ල තේරුම් ගන්න බැරි වුණත් ඔවුන් හිතන්න පටන් ගන්නවා ඔහුන්ට ඔයා ආදරේ නෑ කියලා.
අනතුරුවලින් පරිස්සම් කර ගන්න
අපි ජීවත්වන සමාජය හරිම විෂමයි. අපි කොච්චර නම් උත්සවාකාරයෙන් ලෝක ළමා දිනය සැමරුවත් මතු පිටට නොපෙනෙන තරම් බිහිසුණු දේවල් පුංචි දරුවන්ට අත් විදින්නට වෙලා තියෙනවා මේ මොහේතේ පවා. ඉතිං ඔයාගේ දරුවාගේ ආරක්ෂාව ගැන වතාවක් නෙමෙයි සියවතාවක් හිතලා බලන්න. අපයෝජකයන්ගෙන් වගේම වෙස්වලාගෙන දරුවන්ට ආදරය සෙනෙහස දෙන්න එන මිනිසුන්ගෙන් ඔයාගේ දරුවාව ආරක්ෂා කරන්න. ගේ ඇතුළේ විතරක් නෙමෙයි ඔයාගේ දරුවා පාලසට යන එනකොට පවා සෙවිල්ලෙන් ඉන්න. නිතරම හොයලා බලන්න. දිවාසුරකුම් මධ්‍යස්ථානවලට ඔයාගේ දරුවව යොමු කරන්න කලින් දෙපාරාක් හිතලා බලන්න. විසඳුමක් නැතිම නම් විශ්වසනීය ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරා ගන්න. සරලව කියනවා නම් ඔයාගේ දරුවාව ඩැහැ ගන්න කුරුමානම් අල්ලමින් ඉන්න නොමිනිසුන්ට දරුවව ගොදුරක් වෙන්න ඉඩ තියන්න එපා.
හරිම විදහට යා යුතු මාර්ගය පෙන්වා දෙන්න
දරුවන්ගේ ජීවිතයට මුලින්ම හමුවන නියමුවන් තමයි අම්මයි තාත්තායි කියන්නේ. ඉතිං ඔයාලා දෙන්නා දරුවට පෙන්නලා දෙන මාර්ගයේ තමයි දරුවන් ගමන් කරන්නේ. ඉතිං හරි පරිස්සමට දරුවන්ට මාර්ගය පෙන්නලා දෙන්න. දරුවෝ වැරදි මාර්ගයට ගමන් කරනවා නම් එයින් මුදවා ගන්න එක ඔයාගේ වගකීමක්. එත් හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ නෑ කවදාහත් දරුවන්ට දඩුවම් කරමින්, තරවටු කරමින් දරුවන්ගේ වැරදි හදන්න කියලා. අපි කලින් කිව්වා වගේ පුංචි දරුවන්ට සියල්ල එකම විදිහට තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං පුංචි වැරද්දක් වුණත් හරි පරිස්සමට තමයි නිවැරදි කරන්න ඕන වෙන්නේ. එහෙම වුණොත් ඔයාට කවදාවත් ඔයාගේ දරුවන් ගැන පසු තැවෙන්න ඕන වෙන එකක් නෑ.
තමන්ගේ නොවන දරුවන්ටත් ආදරය කරන්න
මිනිසුන් වන අපි හැමෝම ආත්මාර්ථකාමීයි. පාරාර්ථකාමී මිනිසුන් ඉන්නේ අතළොස්සක් විතරයි. ඔයාට අපේ සමාජය දිහා බැලුවම ඕනෑ තරම් උදාහරණ තියෙනවා ඇස් ඉදිරිපිටම අපි කොච්චර නම් ආත්මාර්ථකාමීද කියන්න. තමන්ගේ දරුවාට වගේම අනිත් හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් කියලා හිතන්න ඔයාටත් පුළුවන් නම් ඇත්තටම ඔයා මිල කරන්න බැරි මනුෂ්‍යත්වයෙන් පිරි කෙනෙක්. හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔයාගේ දරුවාට දෙන වරප්‍රාසද සියල්ල සෙසු දරුවන්ට දෙන්න කියලා නම් නෙමෙයි. මොකද එවැනි දෙයක් ප්‍රායෝගිව කරන්න අසීරුයි කියලා අපි දන්නවා. නමුත් ඔයාට පුළුවන් අපේ සමාජයේ ඉන්න දරුවන් දිහා මැදිහත් සිතින් බලන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඇත්තටම ඔයාට පුළුවන් නම් යම්තාක් දුරට හෝ ළමා ලෝකය ලස්සන වේවී. චුට්ටක් හදවතට එකඟව හිතලා බලන්නකෝ ඔයාගේ ගමේ, ඔයාගේ දරුවාගේ පංතියේ දෙමාපිය ආදරයක් නොලැබෙන දරුවන් කොච්චර නම් ඇත්ද? ළමා කාලය ඔහේ ගෙවා දමන දරුවන් කොතෙකුත් නම් ඇත්ද? ඉතිං ආදරණිය අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක්, වැඩිහිටියෙක් විදිහට ඔයාට ඒ මගේම දරුවෙක් කියලා බලන්න පුළුවන්, ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න හැකි නම් ගොඩක් දුවා දරුවන්ගේ හෙට දවස ගැන බියක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.