වරක් බුදුරජාණන් වහන්සේ සිය අනුගාමිකයන් කිහිප දෙනෙක් සමඟ එක් නගරයක සිට තවත් නගරයකට ඇවිදිමින් සිටියා. මේ සිදුවීම වුණේ ඒ චාරිකාවේ ආරම්භක දින වල. ඔවුන් ගමන් කරමින් සිටිද්දී ගඟක් පසුකර යෑමට සිදු වුණා. පිරිස ඒ නිසා ටික වෙලාවක් එතන නතර වෙලා ගිමන් හරින්න තීරණය කළා. ඒ අතරතුර බුදුන් වහන්සේ සිය ශිෂ්‍යයෙකුට පැවසුවා “මට තිබහයි. කරුණාකරලා මට අර පෙනෙන පුංචි පොකුණෙන් වතුර ටිකක් ගෙනෙන්න ඔබට පුලුවන්ද?" කියලා.
බුදුන්ගේ ඉල්ලීම පිළිගත්ත ශිෂ්‍ය හිමි නම පොකුණ දක්වා ඇවිද ගියා. ඔහු ඒ වෙත ළඟා වුණාම ගමේ සමහරු එතන පොකුණේ රෙදි සෝදමින් සිටින ආකාරය දැක්කා. ඒ මොහොතේම ගොනුන් බැඳි කරත්තයක් පොකුණ හරහා ගමන් කරන්නත් පටන් ගත්තා. ඒවායේ ප්‍රතිඵලයක් වීදිහට පොකුණේ ජලය ඉතා මඩ සහිත, ඉතා කැලඹිලි සහිත වුණා. ඒක දැකපු ශිෂ්‍යයාට සිතුනේ “මම මේ මඩ සහිත ජලය බුදුන් වහන්සේට බොන්න දෙන්නේ කොහොමද?”. ඒ නිසා උන්වහන්සේ ආපසු පැමිණ බුදුන් වහන්සේට මෙසේ කීවා “හිමියනි, එහි ජලය ඉතා මඩ සහිතයි. මම හිතන්නේ නැහැ එය ඔබ වහන්සේට පානය කිරීමට සුදුසුයි කියලා”.
ඒක අහපු බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසුවා. “එහෙනම් අපි මේ ගස අසල ඉඳගෙන ටිකක් විවේක ගනිමු” කියලා. පැය භාගයකට පමණ පස්සේ නැවතත් බුදුන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටියේ නැවත පොකුණට ගිහින් වතුර ටිකක් බොන්න පුලුවන්ද බව බලන්න කියලායි. ශිෂ්‍ය හිමි නම කීකරු ලෙස නැවත පොකුණ වෙතට ගියා. මේ වතාවේ ගියාම ඔහුට පෙනුනා පොකුණේ ජලය හොඳින් පැහැදිලි වෙලා ඇති බව. ඇවිස්සුණු මඩ සමනය වෙලා තිබ්බා. ඊට ඉහළින් තිබ්බ පහැදිලි ජලය බුදුන්ට පානය කරන්න දෙන්න සුදුසුයි කියලා පෙනුණා. ඒ නිසා ඔහු භාජනයකට වතුර ටිකක් එකතු කරගෙන බුදුන් වහන්සේ වෙත ගෙන ආවා.
බුදුරජාණන් වහන්සේ ජලය දෙස බලලා ඊට පස්සේ ශිෂ්‍යයා දිහා බලා මෙසේ වදාළා. “බලන්න... ඔබ පොකුණේ මඩ වුණු වතුරට ස්වාභාවිකවම, තනිවම සාමාන්‍ය මට්ටමට පත් වෙන්න ඉඩ දුන්නා. ඒ නිසා දැන් ඔබට පැහැදිලි ජලය ලැබිලා. වතුර පැහැදිලි මට්ටමට ගන්න කිසිම උත්සාහයක් දරන්න අවශ්‍ය වුණේ නෑ”.
පාඩම : ඔබේ මනස ද වැඩ කරන්නේ ඒ ආකාරයෙන්මයි. මනස කලබල වුණාම එයාටම නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නට ඉඩ හරින්න. ඒකට ටිකක් කාලය දෙන්න. එතකොට මනස තනිවම සන්සුන් භාවයට පත් වෙනවා. එය බලෙන් සන්සුන් කරගන්න ඔබට කිසිදු උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙන්නේ නෑ. අපේ මනස සන්සුන්ව ඉන්නකොටයි දෙයක් විනිශ්චය කරමින් අපේ ජීවිතයේ හොඳම තීරණ ගන්න පුලුවන් වෙන්නේ.