තරුණ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට පය තිබ්බ ඇගේ ආරම්භයේ ඉඳන් ජාත්‍යන්තර සුපිරි තරුවක් බවට පත්වීම දක්වා ප්‍රියංකා චොප්රා තමන්ගේ වෘත්තීය ජීවිතය පුරාම බොහෝ අවධි පහු කරලා තියනවා. ප්‍රියංකා චොප්රා 2000 වසරේදී මිස් වර්ල්ඩ් තරඟාවලිය ජයග්‍රහණය කරනකොට ඇයට වයස අවුරුදු 18 යි. බොලිවුඩ් වලත් හොලිවුඩ් වලත් සුපිරි රංගන ශිල්පිණියක් විදිහට ඇය මේ වෙද්දී සාර්ථකත්වය ලබලා තියනවා වගේම පුණ්‍ය කටයුතු, ව්‍යවසායකත්වය සහ තවත් බොහෝ දේවල් තුළින් ඇය ඇගේ විවිධාකාර භූමිකාවන් සඳහා ගෝලීය පිළිගැනීමක් ලබාගෙනයි තියෙන්නේ. ප්‍රියංකාට මේ වෙද්දී වයස අවුරුදු 38 යි. ඒ කාලය තුළදී ඇය දියුණු කරගෙන තියන ජීවන ගුණාංග බොහෝමයි. එහෙනම් මේ ජාත්‍යන්තර තාරකාවෙන් අපි හැමෝටම ඉගෙන ගන්න පුලුවන් වැදගත් කරුණු පහක් මෙන්න.
වෙනස් වෙන්න පසුබට වෙන්න එපා
ඉන්දියානු හමුදාවේ වෛද්‍යවරුන් දෙපළක් වූ දෙමව්පියන්ට දාව උපත ලැබූ ප්‍රියංකා චොප්රාට මුලින්ම අවශ්‍ය වුණේ අපරාධ මනෝ විද්‍යාව හැදෑරීමටයි. නමුත් ඇය 2000 දී ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කළාට පස්සේ ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා. ඊට පස්සේ ඇය 2003 දී බොලිවුඩ් සිනමාවට පිවිසිලා අද වෙනකොට චිත්‍රපට 60 කට අධික ප්‍රමාණයකට ඇයගේ දායකත්වය ලබා දීලා තියනවා. 2015 මුල් භාගයේදී ප්‍රියංකා කලාපීය භාෂාවලින් චිත්‍රපට නිපදවන Purple Pebble Pictures නමින් තමන්ගේම නිෂ්පාදන ආයතනයක් ද ආරම්භ කළා. එම වසරේදීම ඇය ඇමරිකානු රූපවාහිනියට පිවිසෙමින් Quantico ත්‍රාසජනක කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙව්වා. 2010 ඉඳන් ඇය UNICEF India සංවිධානය සමඟ එකතු වෙලා අඩු පහසුකම් සහිත පසුබිම්වල සිටින දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටින සමාජ සේවිකාවක් බවට පත් වුණා. ඇය සිනමා කර්මාන්තයට පිවිසියේ නැත්නම් ඇගේ ජීවිතය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඔබටත් ජිවීතයේදී නුහුරු නුපුරුදු මාවතක් අනුගමනය කිරීමට අවස්ථාව ලැබෙනකොට ඔබ ඔබේ හදවතට ඇහුම්කන් දීලා පළමු පියවර ගන්න. එය ඔබ සිහිනෙන්වත් නොසිතූ ජීවිතයකට ඔබව ගෙන යයි.
විවිධ චරිත නිරූපණය කරන්න
7 Khoon Maa චිත්‍රපටියේ සුසානා, Barfi චිත්‍රපටියේ ජිල්මිල්, මේරි කෝම්ගේ චරිතාපදානයේ සහ එක්සත් ජනපදයේ Romcom Isn't It Romantic චිත්‍රපටයේ ඉසබෙලා ආදී වශයෙන් විශාල පරාසයක විහිදුණු චරිත නිරූපණය කරන්න අද වෙද්දී ප්‍රියංකා සමත් වෙලා තියනවා. රංගනයෙන් පරිබාහිරව ඇය ඇගේම Purple Pebble Productions සමාගම එක්ක හොඳ ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම ඇය ආයෝජිකාවක්. ඇය යුනිසෙෆ් සමඟ වැඩ කරමින් සිටින දානපතිනියක්. ප්‍රියංකා 2010 දශකයේ මුල් භාගයේ දී My City, Exotic සහ I Can’t Make You Love Me වගේ ජනප්‍රිය ඉංග්‍රීසි ගීත සමඟ සාර්ථක ගායන දිවියක් ද ගත කළා.
ඔබගේ වෘත්තිය වේවා හෝ ඉන් පිටත ජීවිතය වේවා, ඔබ එක මාවතකට විතරක් ඇලිලා ඉන්න ඕනේ නෑ. විවිධ මාර්ග ගවේෂණය කරන්න, ඔබේ සීමාවන් පුළුල් කර ගන්න සහ ජීවිතයේ විවිධ පැති අත්විඳීමට ඔබටම ඉඩ දෙන්න. ඒ විදිහට ජීවත් වෙද්දී ඒක භයානකයි, විශ්වාසය අඩුයි කියලා ඔබට හැඟෙන්නට පුළුවන්. නමුත් සාර්ථක වෙන්න නම් ඔබ ඔබට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න ඕනේ.
ඔබේ හිස ඉහළින් තබා ගන්න
ප්‍රියංකා ළමා කාලයේදී ඇමරිකානු පාසලක අධ්‍යාපනය ලබනකොට ඇය සමේ පැහැය නිසා වෙනස්කොට සැළකීම් වලට මුහුණ දුන්නා. පාසලේ සිසුන් ඇයට ඒ කාලයේ කියලා තිබ්බේ ආපු තැනටම යන්න කියලායි. ඒ වගේම ඇගේ දුඹුරු සම නිසා ඇයට විවිධ නම් වලින් අමතලා තියනවා. හොලිවුඩ් ගවේෂණය කිරීම සඳහා ඇය මුලින් බටහිර රටවල් වලට ගිය මුල් කාලයේ පවා ඇයට පහසුවෙන් චිත්‍රපට භූමිකාවන් නොලැබුණු බවයි ප්‍රියංකා සඳහන් කරන්නේ.
2013 දී ප්‍රියංකාට ඇගේ පියා වන අශෝක් චොප්රා පිළිකාවක් වැළඳීමෙන් මිය යනවා. තමන්ගෙ තාත්තාව තවදුරටත් දැක ගැනීමට නොහැකි වීම පිළිබඳ ශෝකය දරාගෙන වුණත් ඇය දිගටම සාර්ථක වෙමින් තමන්ගේ ජීවිතය උපරිම ලෙස ගත කරනවා. පසු කාලයේදී ඇමරිකානු ගායකයෙක් වන නික් ජොනාස් සමඟ විවාහ වූ විට පවා ප්‍රියංකාව විශාල පසුබෑමකට ලක් කරන්න මිනිස්සු උත්සහ කළා. එක් මාධ්‍යවේදියෙක් ඇයව 'ගෝලීය වංචාකාරී කලාකාරිණියක්' ලෙසයි හැඳින්වූයේ. ඒ, ඇය ඇගේ සැමියාට වඩා අවුරුදු 10ක් වැඩිමල් වීම ගැන ඇයව සමච්චලයට ලක් කරමින්.
ඒ විදිහට මිනිස්සු වරින් වර ඇයව පහළට තල්ලු කරන්න උත්සහ කළත් ඒ කිසිවකින් තමන්ව බිඳ දමන්න බැරි බව ප්‍රියංකා පැහැදිලිවම ඔප්පු කළා. ඇය තරුණ ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට හැම වෙලාවේම කියන්නේ මොකක් වුණත් ශක්තිමත්ව හා ඉදිරියට යාමට උනන්දු වෙන්න කියලායි. ඔබ අවම වශයෙන් දේවල් අපේක්ෂා කරන විට පවා ජීවිතය ඔබව බිඳ දමන්න පුලුවන්. නමුත් වැදගත් වෙන්නේ නැවත නැඟිටලා ඉදිරියට යාමයි.
සමාජයට දෙයක් ආපසු දෙන්න
2010 දී ප්‍රියංකා චොප්රා UNICEF India සංවිධානයේ ජාතික තානාපති ලෙස පත් කරන ලද අතර ඇය මේ වෙද්දිත් ළමා හා නව යොවුන් අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා. ඇය සහභාගී වී ඇති එක් ප්‍රධාන ව්‍යාපාරයක් වන්නේ මූල්‍ය අධ්‍යාපනය, නායකත්ව පුහුණුව සහ ව්‍යවසායකත්ව කුසලතා සහිත තරුණ ගැහැණු ළමයින් හා කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් 'Deepshikha යි. මෙම වැඩසටහන හරහා ඇය ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ තරුණියන් 65,000 කට උපකාර කරලා තියනවා.
ළමුන් හා කාන්තාවන් හමුවීමට සහ මුල් අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඇය ලෝකය පුරා රටවල් වලට යනවා. සාමාන්‍යයෙන් තාරකාවකට තමන්ගේ දිදුලන හා උත්කර්ෂවත් ලෝකයේ රැඳී සිටීම පහසුයි. නමුත් ප්‍රියංකා විසින් තමන්ගෙ ජනප්‍රියත්වය හරහා සමාජයට උදව් ලබා දීමට තීරණය කරනවා. ඇය ඇගේ කීර්තිය උපයෝගී කරගනිමින් උදව් අවශ්‍ය මිනිස්සුන්ට හඬක් ලබා දෙනවා.
අවශ්‍යතා තියන සියල්ලන්ටම උපකාර කරන්න අපිට බැරි වුණත්, අපි අවට සිටින සෑම කෙනෙකුටම කරුණාව දැක්වීමෙන් අපිට නිසැකවම ලොකු දෙයක් කරන්න පුලුවන්. පුණ්‍යායතන සඳහා කරන කුඩා පරිත්‍යාගයකින් පවා සමාජයට දෙයක් කරන්න ඔබට ද පුලුවන්.
සහයෝගය අවශ්‍ය අවස්ථා වලදී හඬ නඟන්න
ප්‍රියංකා චොප්රා කියන්නේ මානසික සෞඛ්‍යය, ශරීර ධනාත්මකතාව සහ LGBTQIA + ප්‍රජාව වගේ සමාජීය ගැටළු සඳහා සහයෝගය දක්වමින් ඒවා පිළිබඳව සැමවිටම විවෘතව හඬ නඟන තාරකාවියක්. 2018 දී ඇය ෆේස්බුක් එකේ #SocialForGood අවස්ථාව සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම මාතෘකාව පිළිබඳව අවංක සංවාදයක් පැවැත්වීමට ද ජනතාව දිරිමත් කළා.
2016 දී ඇමරිකානු ටෝක් ශෝ එකක් වන The View සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රියංකා ඇය ඇගේ යෞවන අවධියේ ශරීරය ගැන ලැජ්ජාවට පත්වීම ගැනත්, පසු කාලයේදී ඇගේ ශක්තීන් ගැන අවධානය යොමු කරමින් ඇය ඒ තත්ත්වය සමඟ සටන් කළ ආකාරය ගැනත් කතා කළා. ඉන්දියාවේ සමලිංගික සේවනය නීති විරෝධී හෝ සාපරාධී වරදක් ලෙස සැලකීම නැවැත්වීම වෙනුවෙන් එරට පෙනී හිටපු නීතීඥයින් වන අරුන්දතී කට්ජු සහ මේනකා ගුරුස්වාමි වෙනුවෙන් ඇය TIME 100 වෙත ලිව්වා.
අපිට දැවෙන ගැටළු සිය ගණනකට අපි ජීවත් වෙන සමාජයේදී නිතරම මුහුණ දෙන්න වෙනවා. ඒවා විටින් විට අති මහත් වෙන්න පුලුවන් නමුත්, වෙනස් කොට සළකන ප්‍රජාවන්ට සහ සමාජය විසින් කාපට් යටට තල්ලු කර ඇති මාතෘකා සඳහා ඔබට ඔබේ සහයෝගය ප්‍රකාශ කරන්න පුලුවන් නම් ඒක ඉතා යහපත් ක්‍රියාවක්. ඒ සඳහා ඔබට තියන වරප්‍රසාද භාවිතා කිරීම ද වැදගත්. සාමූහික සටනකින් ප්‍රගතියක් ලබා ගන්න පුලුවන් වෙන්නේ අපි එකිනෙකා බාධාවකින් තොරව ඒවාට සහයෝගය ලබා දෙනවා නම් විතරයි.