එක්තරා ගමක "ජෙරී" නමින් මහලු මිනිසෙක් ජීවත් වුනා. ඔහු අවුරුදු කීපයක් තිස්සේ තම පුතාව දැකලා නෑ. එහෙම ඉන්න අතරතුර දවසක නගරයේ ජීවත් වුණු තමන්ගේ පුතා හමුවීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු තමන්ගේ පුතා බලන්න යන ගමන ආරම්භ කරමින් පුතා වැඩ කරන හා නැවතී සිටි නගරයට පැමිණියා.කලකට පෙර ඔහුට පුතාගෙන් ලිපි ලැබුන ලිපිනයට ඔහු ගියා. ඔහු එතන දොරට තට්ටු කළේ විශාල අපේක්ෂාවකින් සහ ප්‍රීතියකින්. අවාසනාවට දොර විවර කළේ වෙනත් අයෙක්. ඒ පුද්ගලයාගෙන් ජෙරී මෙහෙම ඇසුවා “තෝමස් කියලා කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා නේද?” එතකොට එම පුද්ගලයා කිව්වා “නැහැ! ඔහු මේ ස්ථානයෙන් ඉවත් වෙලා වෙනත් ස්ථානයකට මාරු වෙලා ගියා.” ඒක අහපු ජෙරී ගොඩක් කලකිරීමට පත් වුනා. ඒ, තමන්ගේ පුතා හමු වෙන්නේ කොහොමද කියලා සිතමින්.
එහෙම හිත හිත ඔහු පාරේ ඇවිදින්නට පටන් ගත්තා. එහෙම කල්පනා කරමින් දුකින් ඇවිදින ඔහුව දකින අසල්වැසියෝ ජෙරීගෙන් අහන්න පටන් ගත්තා “ඔයා තාම තෝමස්ව සොයනවාද” කියලා. ජෙරී ඒවාට ප්‍රතිචාර දැක්වූයේ නිහඬව හිස වනමින් විතරයි. ඒ අතරතුර එක අසල්වැසියෙක් තෝමස්ගේ වර්තමාන ලිපිනය සහ කාර්යාල ලිපිනය හොයාගෙන ඇවිල්ලා ජෙරීට ලබා දුන්නා. ජෙරී ඔහුට බොහෝ ස්තූති කරමින් තම පුතා ඉන්න කාර්‍යාලයට යන මාවත දෙසට ගමන් කරන්න පටන් ගත්තා. ජෙරී අදාළ කාර්යාලයට ගිහින් පිළිගැනීමේ කවුන්ටරයෙන් ඇසුවා, “කරුණාකරලා මේ කාර්යාලයේ තෝමස් ඉන්න තැන මට කියන්න පුළුවන්ද?” කියලා. ඒක අහපු පිළිගැනීමේ නිලධාරිනිය ඇසුවේ, “ඔබ ඔහුගේ කවුද කියලා මට දැනගන්න පුලුවන්ද කියලායි?” එතකොට ජෙරී ආචාරශීලීව ප්‍රතිචාර දැක්වූවා “මම ඔහුගේ පියා” කියා කියලා. පිළිගැනීමේ නිලධාරිනිය ඊට පස්සේ ජෙරීට මොහොතකට රැඳී සිටින්න කියමින් තෝමස් වෙතට ගිහින් ඔහුගේ පියා ඇවිල්ලා ඉන්න බව දැනුම් දුන්නා. ඒ පණිවුඩය අහපු තෝමස් පුදුමයට පත් වූ අතර පිළිගැනීමේ නිලධාරිනියට කිව්වා තමන්ගේ පියා වහාම තමන්ගේ කැබින් එක වෙත එවන්න කියලා.
ජෙරී තෝමස්ගේ කැබින් එකට ඇතුළු වෙනකොටම තමන්ගේ පුතාව දැක්ක සතුටට ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා. තෝමස්ට ද තමන්ගේ පියා දකින්න ලැබුණු නිසා සතුටු හිතුණා. ඔවුන් දෙදෙනාම ටික වේලාවක් සරල සංවාදයක යෙදුණා. ඊට පස්සේ ජෙරී තෝමස්ගෙන් ඇසුවා “පුතේ! අම්මට ඔයාව බලන්න ඕන. ඔයාට මාත් එක්ක ගෙදර එන්න පුළුවන්ද?” කියලා.
තෝමස් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි. “නෑ තාත්තේ. මට එන්න බැහැ. මගේ කාර්‍යාලයේ සාර්ථකත්වය වෙනුවෙන් මේ දවස් වල මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒවා නිසා ලොකු ආතතියකින් මම වැඩ කරන්නේ. ඒ නිසා ගමට එන්න නිවාඩු ගන්නත් ගොඩක් අමාරුයි." ඒක අහන් ඉඳපු ජෙරී සරල සිනහවක් පාමින් පුතාට කිව්වා, “හරි! ඔයාට ඔයාගේ වැඩ කටයුතු ටික කරන්න. මම අද හවස ආපහු අපේ ගමට යනවා. ” එතකොට තෝමස් ඇසුවා, “ඔයාට මාත් එක්ක දින කිහිපයක් නැවතිලා ඉඳලා යන්න පුලුවන් තාත්තේ" කියලා. ජෙරී මොහොතකට නිහඬව ඉඳලා පුතාට කිව්වා, “පුතේ... ඔයා ඔයාගේ කාර්යාලයේ වැඩ එක්ක කාර්යබහුල වෙලායි ඉන්නේ. මට තව දුරටත් ඔයාව අපහසුතාවයට පත් කරන්න හෝ ඔයාට බරක් වෙන්න අවශ්‍ය නෑ. ආයි කවදාහරි ඔයාව හමු වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම ගොඩාක් සතුටු වෙනවා.” ඔහු ඒ ටික අවසාන වශයෙන් කියලා එම ස්ථානයෙන් පිටව ගියා.
සති කිහිපයකට පස්සේ තෝමස් කල්පනා කළේ තමන්ගේ පියා බොහෝ කාලයකට පස්සේ තනිවම තමන්ව බලන්න ආවේ ඇයි කියලායි. ඒ සම්බන්ධයෙන් ඔහුට වරදකාරි හැඟීමක් ඇති වූ නිසා දින කිහිපයකට කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන තමන්ගේ පියා හමුවීමට ගමට ගියා. ඔහු මුලින්ම තමන් ඉපදී හැදී වැඩුණු ස්ථානයට ගියාම ඔහුගේ දෙමාපියන් එහි නොමැති බව ඔහු දුටුවා. ඒකෙන් ඔහු කම්පනයට පත් වූ අතර අසල්වැසියන්ගෙන් ඇහුවා “මෙහෙ මොකද වුණේ? මගේ දෙමාපියන් මේ ගෙදර ඉන්න එපැයිනේ. අම්මායි තාත්තායි දැන් කොහෙද? ” කියලා. ඒක අහපු අසල්වාසීන් ඔහුගේ දෙමව්පියන් නවාතැන් ගෙන සිටින ස්ථානයේ ලිපිනය ලබා දුන්නා.
තෝමස් වහාම එම ස්ථානයට දුවලා ගියාට පස්සේ එම ස්ථානය සොහොන් බිමක් කියලා දැක්කා. ඒ වෙලාවේ තෝමස්ගේ දෑස් කඳුළින් පිරී තිබූ අතර සෙමෙන් එම ස්ථානය දෙසට ගමන් කිරීමට පටන් ගත්තා. එක පාරටම ඔහුගේ පියා ජෙරී විසින් තෝමස්ව දුරදීම දැකලා ඔහුගේ අවධානය ලබා ගැනීම සඳහා අත දිගු කළා. ඒක දැකපු තෝමස් තමන්ගේ පියාගේ සංඥාව දැකලා ගොඩක් සතුටින් ඒ දෙසට දිව්වා. දුවලා ගිහින් තාත්තාව තෝමස් තදින් බදා ගත්තා.
ඊට පස්සේ ජෙරී ඇසුවේ “ඔයාට කොහොමද පුතා? ඔයාව මෙතන දැකීම මොනතරම් පුදුමයක්ද? ඔයා මෙහෙට එයි කියලා මම සිතුවෙ වත් නෑ.” තෝමස්ට ඒ වෙලාවේ තමන් ගැනම ලොකු ලැජ්ජාවක් දැනුණු නිසා හිස පහත් කර ගත්තා. ඒක දැකපු ජෙරී මෙහෙම පැවසුවා.
“ඇයි ඔයාට ඔයා ගැනම නරක හැඟීමක් දැනෙන්නේ? මොකක් හරි වැරැද්දක් වෙලාද?” ඒ ප්‍රශ්නයට තෝමස් ප්‍රතිචාර දක්වමින් කිව්වේ “නෑ තාත්තා. අපේ ගමේ මේ වගේ තැනක මම ඔයාව දකින්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.” කියලායි.
ඒකට උත්තරය විදිහට ජෙරී සිනාසෙමින් මෙහෙමයි කිවිවේ. “ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවන්න ඕනේ වුණු නිසා ඔයා නගරයේ කොලේජ් එකට ගියාම මම ණයක් ගත්තා. පස්සේ ඔයාට අලුත් මෝටර් රථයක් අවශ්‍ය වුණම ඒවාටත් මුදල් දුන්නා. ඒත් එක පාරටම අපේ ගොවිතැනේ පාඩු වුණු නිසා මට ඒවා වෙනුවෙන් ගත්ත ණය ආපහු ගෙවන්න බැරි වුණා. ඒ නිසා මම උදව්වක් ඉල්ලගන්නයි ඔයා ගාවට ආවේ. නමුත් ඔයා ඔයාගේ කාර්යබහුලකම් සහ ඔයාගේ වැඩකටයුතු ගැන එක දිගට කියපු නිසා මට අපේ ගැටලුව ඔයාගේ බර උඩ පටවන්න අවශ්‍ය වුණේ නෑ. මම ඒකයි නිශ්ශබ්දවම ආපහු ගමට ආවේ. ඒ අතර ණය ආපසු ගෙවන්න ක්‍රමයක් තිබ්බේ නැති නිසා අපිට අපේ නිවසින් පිට වෙන්න සිද්ධ වුණා ”.
තෝමස් එවෙලේ පුදුමයෙන් තාත්තා දිහා බලලා කිව්වා “ඔයාට එදා තිබ්බා නේ මට ඕනේ දෙයක් කියන්න. මම පිට මනුස්සයෙක් නෙමෙයි නේ” කියලා. ජෙරී තෝමස් දිහාට හැරිලා මෙහෙම කිව්වා. "අපිට අවශ්‍ය වුණේ ඔයාගේ සතුට පමණයි. ඒ නිසායි මම එදා නිහඬ වුණේ. ”
ඒක අහපු තෝමස් අඬන්න පටන්ගෙන ආයෙත් තාත්තාව බදාගත්තා. ඔහු ජෙරීගෙන් සමාව අයැදිමින් ඔහු කළ වැරැද්දට සමාව දෙන ලෙස ද ඉල්ලා සිටියා. ඒක අහපු ජෙරී සිනාසෙමින් මෙහෙම කිව්වා.
"ඔයා සමාව ඉල්ලන්න ඕනේ නෑ පුතා. මට දැන් ලැබිලා තියන දේවල් ගැන මම සතුටු වෙනවා. මට එදා අවශ්‍ය වුණේ ඔයා අපි එක්ක යම් කාලයක් ගත කරනවා දකින්නයි. ඒ, අපි ඔයාට ගොඩක් ආදරය කරන නිසායි. ඒ වගේම මේ මහලු වියේදී අපිට ඔයාව නිතරම බලන්න එන්න ගොඩක් අමාරු නිසායි. ”
පාඩම : දෙමව්පියන් සැමවිටම ඔබ වෙනුවෙන් සිටින අතර ඔබව සතුටු කිරීම සඳහා ඔවුන්ට හැකි සෑම දෙයක්ම ලබා දෙනවා. ඒත් අපි ඒවා සුළු කොට තකනවා, ප්‍රමාද වෙනකල්ම ඔවුන් අපි වෙනුවෙන් කරපු සියල්ල අපි අගය කරන්නේ නෑ. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ මාවතක් ඔබ සොයාගත්තාම ඉදිරියට යන්න. නමුත් ඔබේ සාර්ථකත්වයට සැබෑ හේතුව ඔබේ දෙමාපියන් නිසා ඔවුන්ව එදාට අතහැර නොයන්න.