මේ ප්‍රශ්නේ නම් ඉතින් අපේ ගොඩාක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක්නේ. විශේෂයෙන් කාන්තා පාර්ශවයට. අධික වැඩ රාජකාරිත් එක්ක ගෙදර වැඩයි job එකේ වැඩයි ඔක්කොම පටල ගෙන ඔළුවත් අවුල් කර ගන්නවා. ඊට පස්සේ ඉතින් එක වැඩක් වත් හරියට කර ගන්න බැරුව යනවා. එතකොට ඉතින් හොස්ස ලඟින් මැස්ස යන්න බෑ.පොඩි දේවල් වලටත් කේන්ති ගන්නවා, අනිත් අය එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා, ගෙදර වැඩ අතපසු වෙනවා වගේම ඔයාගේ වගකීම් ඔයාටමත් නොදැනී මගහැරෙනවා. ඒක පවුලේ එකිනෙකා අතර තියෙන බැඳීම අඩු වෙන්නත් ප්‍රශ්න ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම ඒ තත්වය රැකියාවටත් ඒ ආකාරයටම බලපානවා. එහෙම උනාම ඉතින් ජීවිතේම එපා වුණු ගානට තමයි ඉන්න වෙන්නේ. පවුල් ජීවිතයයි රැකියාවයි දෙකම අවුල් කර ගන්නේ නැතුව සමබරව පවත්වාගෙන යන්න මේ කියන දේවල් ඔයාට වැදගත් වේවි.
1. office එකේ වැඩ ගෙදර උස්සගෙන යන්න එපා
සමහර අය office එකේ වැඩ ගෙදරටත් ගෙනිහින් කරනවා. ඒ කියන්නේ වැඩ කරන තැන ප්‍රශ්න ගෙදරටත් ගෙනියනවා කියන එකයි. එහෙම උනහම ඉතින් අනිවාර්යයෙන්ම ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි මේ වැඩෙන් ඔයාට ගෙදර වැඩ කරන්න වෙලාවක් නැතුව යනවා, අතපසු වෙනවා, ගෙදර ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා කවදාවත් රැකියාවේ වැඩ ගෙදරදී කරන්න තියා ගන්න එපා. තවත් දෙයක් තමයි රැකියා ස්ථානයේ ප්‍රශ්න එතන තියල ගෙදර යන්න. ගෙදර ගිහිල්ලත් ඒ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න එපා. එහෙම උනොත් ඔයාගේ රාජකාරි ගැටළු නිසා ඔයාගේ පවුලේ අයත් පීඩාවට පත් වෙනවා.
2. ගෙදර ප්‍රශ්න office එකටත් එපා
කලින් කිව්ව දේ අනිත් පැත්ත තමයි මේ. සමහර අය ගෙදර දොරේ ප්‍රශ්න ඔලුවේ තියාගෙන රාජකාරි කරන තැනත් වැඩ කරනවා. නැත්තන් කල්පනා කර කර ඉන්නවා. අනිත් අය එක්ක ඒ ප්‍රශ්න ගැන කතා කරනවා. රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇති වෙන්න ඒකම ඇති. මේ නිසා මේ දෙපැත්තම මනා ලෙස සමබර කරගෙන පවත්වාගෙන යන්න උත්සහ කරන්න. office ඉද්දි හිත ගෙදර වත්, ගෙදර ඉද්දි හිත office එකේ වත් තියා ගෙන ඉන්න එපා. තමන් ඉන්නේ කොහෙද, කරන්න ඕන මොනවද කියන එක ගැන හොඳ සිහියෙන් ඉන්න.
3. office එකේදී වැඩිපුර කරන්නේ වෙන අයගේ වැඩද?
රාජකාරි කරන තැනදී මේ ප්‍රශ්නෙටත් ගොඩාක් වෙලාවට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙලා ඇති. ගොඩක් වෙලාවට ඉතින් මුණ බලාගෙන බෑ කියන්න බැරි කමට ඔයා අනුන්ගේ වැඩත් බාර අරගෙන කරනවා ඇති. ඒත් එහෙම වුණාම ඔයාට ඔයාගේ වැඩ කර ගන්න වෙලාවක් නැතුව යනවනේ. වැඩ අධික වීම නිසා ඔයා ඉක්මනින්ම වෙහෙසට පත්වෙලා එක වැඩක් වත් හරියට කර ගන්න බැරුව යනවා. ඒ නිසා කාර්යාලයේදී තමන්ගේ වැඩ වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඉඩක් ලැබුණු වෙලාවට තව කෙනෙක්ට උදව් කරාට කමක් නැහැ. හැබැයි ඔයාගේ වගකීම් පැත්තකට දාල අනිත් අයගේ වැඩ කරන්න යන්න එපා. ඔයාගේ වැඩ වලට ප්‍රමුකත්වය දෙන්න. තවත් දෙයක් තමයි අනිත් අයගේ රාජකාරි වලින් ඈත් වෙලා ඉන්න තරමට ප්‍රශ්න අඩුයි.
4. ඔයා ගැනත් ටිකක් හිතන්නකෝ
ගෙදර දොරේ වැඩයි රැකියාවේ වැඩයි එක්ක ඔයා මුළු දවසෙම ඉතා කාර්යබහුල වෙන්න පුළුවන්. ඒත් හැම දවසකම ඔයා වෙනුවෙනුත් පොඩි වෙලාවක් හරි වෙන් කරන්න. ටික වේලාවක් සැහැල්ලුවෙන් ඉන්න, නිදහසේ පොතක් කියවන, සිංදුවක් අහන්න පුරුදු වෙන්න. දවසෙම වැඩ කරලා තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න ඔයාගේ මනසට විවේකය කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ නිසා මනස සැහැල්ලු වෙන විදිහේ දේවල් වල නිරත වෙන්න. නැත්නම් මානසික ආතතිය වැනි තත්වයන් ඇති වෙලා ඔයා තව තවත් පීඩනයට පත් වෙන්න පුළුවන්. ඒක තියෙන ප්‍රශ්න වැඩිවෙන්න හේතුවක් වෙනවා.
5. හරියට නින්දක් නැති වුනොත් නම් දවසම අවුල් තමයි
නින්ද කියන දේ අනිවාර්යයෙන්ම අපිට ගොඩාක් වැදගත්. දිනකට පැය 7ක 8ක වත් නින්දක් ලබා ගන්න කියන්නේ එකනේ. ඔයාගේ තියෙන වැඩ කටයුතු එක්ක දවසට පැය 24ක් නැතුව පැය 48ක් තිබුනා නම් හොඳයි කියල ඔයාට හිතෙන වෙලාවල් ඇති. තියෙන වැඩ කරගන්න දවසත් මදි.එහෙම උනහම ඉතින් දවස් ගණන් හරියට නින්දක් නැතුව වැඩ කරනවා. ඒත් ඒක ඔයාගේ කායික වගේම මානසික සුවයට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම මහන්සියි නිදිමතයි එක්ක කරන වැඩේ සාර්ථක නොවෙන්න, වැරදීම් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිසි වෙලාවට ශරීරයටත් ලැබිය යුතු විවේකය ලබා දෙන්න. machine එකක් හරි විදිහට නඩත්තු කරේ නැත්තන් ඒකෙ ආයුෂ අඩු වෙනවා. අපේ ශරීරයත් අන්න ඒ වගේ. ඒ නිසා ඔයාගේ සෞඛ්‍යය ගැනත් අනිවාර්යයෙන් හිතන්න.
6. පවුලේ අය එක්කත් ඉන්න කාලයක් හොයා ගන්න
දවස ගානේ බැරි උනත් සතියට දවසක් හරි ඔයාගේ පවුලේ උදවිය එක්ක ගත කරන්න අවස්ථාවක් හදා ගන්න. ජිවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි. ඒ නිසා රැකියාවයි නොයෙකුත් වැඩ රජකාරියි නිසා පවුලෙන් ඈත් වෙන්න එපා. කලබලකාරී සතියක් අවසානයේ ඔයාගේ කායික මානසික සුවය වෙනුවෙන් ඒක ගොඩාක් බලපෑම් කරනවා. පවුලේ අය එක්ක හරි මිතුරන් එක හරි විනෝදෙන් කාලය ගත කරද්දී ඔයාගේ හිතට නිදහසක්, සැහැල්ලුවක් දැනෙයි. ඒ වගේම දහසක් වැඩ රාජකාරි නිසා මඟහැරෙන සබඳතා ගොඩනගා ගැනීමට, ශක්තිමත් කර ගැනීමට මේ කාලය ඔයාට උදවු වේවි.
මේ කිව්ව දේවල් ගැන ටිකක් හොඳින් හිතල බලලා ඔයාගේ අඩු පාඩු හදා ගත්තොත් ඔලුව නිදහසේ තියාගෙන වැඩ කරන්න ඔයාටත් පුළුවන් වේවි.