පොඩි දරුවෝ ඉන්න අම්මලාට තියෙන අමාරුම වැඩ වලින් එකක් තමයි මේ. දවසෙම කෑම පිඟානත් අතින් අරන් පස්සෙන් ගියත් හරියට කෑම ටික කවා ගන්න බැරි එක චුටි පැටව් ඉන්න අම්මලා ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඉතින් එහෙමයි කියල අපේ අය නිකන් ඉන්නෙත් නැහැනේ . බලෙන් හරි කටේ ඔබනවා. දරුවාගේ අකමැත්තෙන් බලෙන් කෑම කවනවට වඩා වෙනසකුත් එක්ක හැමදාම දෙන ඒකාකාරී අහාර වේල් වෙනුවට පෝෂණයත් රැක ගෙන පොඩ්ඩට කෑම ටික කවා ගන්න තිබුණ නම් හොඳයි නේද? එහෙම වුනොත් ඔයාටත් මහන්සියක් නෑ. දරුවත් ආසාවෙන් කෑම ටික කනවා.
දරුවාගේ ප්‍රධාන ආහාර වේලට රතු කැකුළු හාල් ගන්න එක අනිවාර්යෙන්ම වැදගත්. ඒ වගේම එයට තම්බා ගත් එළවලු දෙකක් සහ පලා වර්ගයක් එකතු කරන්න. ඒ වගේම තම්බා ගත් එළවලු වලින් ඔයාට පුළුවන් විවිධ හැඩ කපලා කෑම පිඟානෙන් තියන්න.එතකොට දරුව ආසාවෙන් කෑම ටික කාවි.
ඒ වගේම දිනපතා යෝගට් එකක්, චීස් කෑල්ලක්, බටර් මේස හැන්දක් දරුවාගේ ආහාර වේලට එකතු කරන්න. විශේෂයෙන් උදේ හෝ දවල් අහාර වේලට මේ දේවල් එකතු කර ගන්න එක තමයි වඩාත් සුදුසු. ඒ වගේ දරුවා කැමැත්තෙන් කන ආහාර වර්ග ප්‍රමාණයක් ඇතිව ලබා දෙන්න.
දරුවාගේ ආහාර වේලට වැඩි වශයෙන් මස් මාළු එකතු කරන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් දිනපතා මස් වර්ග එකතු කිරීම සුදුසු නැහැ. මාළු කුඩා ප්‍රමාණයේ කැබැල්ලක්, බිත්තරයක් හෝ හාල්මැස්සන් කිහිප දෙනෙකු දිනපතා එක් වර්ගයක් බැගින් ආහාර වේල සඳහා එකතු කරන්න. ඒ වගේම මුං ඇට, කවුපි, කඩල වැනි ධාන්‍ය වර්ගයක් දිනපතා ලබා දීමෙන් සියලුම පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ වෙනවා.
ඒ වගේම අනිවාර්යෙන් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරුක් දිනපතා ලබා දෙන්න. ඊට අමතරව වෙරළු, පේර වගේ පලතුරු කුඩා කැබලි වලට කපා පිඟානකට දාල දරුවට කෑමට දෙන්න. ඔයා බලෙන් කවන්න යනවට වඩා දරුවට තනියම කන්න දෙන එක ප්‍රතිඵල දායකයි. හැබැයි ඔයත් ඒ අසලම රැඳෙන්න ඕන කියන එක කිසිම වෙලාවක අමතක කරන්න එපා.
දරුවා කන්න අකමැති ආහාර වෙනස් විදියට පිළියෙළ කරන්න. බත් කන්න අකමැති නම් එළවලු හා බටර් ටිකක් එකතු කරලා එළවලු බත් පිළියෙළ කරලා දීලා බලන්න. වෙනස් රසයට දරුවා කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ වගේම විවිධ වර්ණයන්ගෙන් යුතු එළවලු තම්බා ආහාරයට එක් කරන්න. ඒ වර්ණවත් බවට දරුවා කැමති වෙයි.
දරුවට කෑම කවද්දී ඔයා අනිවාර්යෙන් දැන ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවකම ස්වභාවික අහාර වලට දරුවා හුරු කරවන එක වැදගත් කියන එක. කෙටි ආහාර ලබා දීමේදීත් හැකි තරම් කෘතීම අහාර දීමෙන් වලකින්න. කිසිම වෙලාවක දරුවට අධික පැණි රස ආහාර, තෙල් හෝ පිෂ්ටය අධික ආහාර ලබා දෙන්න එපා. ඒ දේවල් වලට කුඩා වයසේ ඉඳලම හුරු වීමෙන් දරුවන් තරබාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට දරුවන් ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා.
දරුවාට තේ හෝ කිරි තේ ආදිය නිතර ලබා දෙන්න එපා. එසේ ලබා දෙන විට ආහාර වෙල් අතර පැය දෙකක පමණ පරතරයක් තැබීම වැදගත්. ඒ වගේම නිසි කාලයට පණු බෙහෙත් ආදිය ලබා දීමත් නිතරම විෂබීජ වලට ගොදුරු වීමට ඉඩ නොදීමටත් වග බලා ගන්න. නිසි කලට පණු බෙහෙත් ලබා නොදීම ආහාර ප්‍රතික්ෂේප කරන්න තවත් හේතුවක්. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් මත ලබා දිය යුතු ඖෂධ අමතක කරන්න එපා.