අපි හැමදාමත් වගේ ඔයාගේ දරු පැටියාගේ ආරක්ෂාව, පෝෂණය වගේම සෞඛ්‍ය ගැනත් ඔයාව දැනුවත් කරනවා. මොකද දරුවෝ තරම් වටිනා සම්පතක් අපිට නැති නිසා. මේ කියන්නෙත් දරු පැටියාගේ නිරෝගී බාවයට හේතු වෙන තවත් දෙයක් ගැන. ඒ වගේම හැම අම්ම කෙනෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන් මහන්සි වෙන දෙයක් ගැන. ඒ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබා ගන්න එක. එහිදී කිසිම අම්ම කෙනෙක් මේ දේවල් අමතක කරන්න හොඳ නැහැ.
1. දිරවන්න අපහසු ආහාර වැඩිපුර ලබා දීමෙන් වලකින්න. ගොඩාක් වෙලාවට පෝෂණය අතින් ඉහල ආහාර නිතර නිතරම දරුවන්ට ලබා දුන්නත් ඒ නිසා දරුවාට දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි ආහාර ලබා දීමේදී අනවශ්‍ය විදියට ප්‍රමාණය ඉක්මවා යන්න එපා.
2. පැණි රස ආහාර අවම කරන එකත් අනිවාර්යෙන් වැදගත් වෙන දෙයක්. දරුවාට නිතර පැණි රස ආහාර දීමෙන් කුඩා වයසේදීම දරුවන් දියවැඩියා අවදානමට ලක් වෙන්න පුළුවන්. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල වෙන්නත් දරුවාගේ මුඛ සෞඛ්‍ය පිරිහෙන්නත් එය හේතුවක්.
3. උදෑසනට අනිවාර්යෙන්ම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න. වෙලාව ගැන උදේට තියෙන ප්රශ්නය නිසා ගොඩක් අම්මලා කරන ලොකු වැරද්දක් තමයි උදේට දරුවන්ට පිටතින් ආහාර ලබා දීම. ඒ නිසා ගොඩක් වෙලාවට රසකාරක යෙදු ක්ෂණික ආහාර තමයි දරුවන්ට කන්න වෙන්නේ. දිගටම මෙහෙම වුනොත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යෙන් පිරිහෙන්න ගන්නවා. ඒ නිසා පාසල් යන වයසේ දරුවෝ ඉන්න අම්මලා අනිවාර්යෙන් මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න
4. වතුර අපේ නිරෝගී බවට හේතු වෙන ප්‍රධානම දෙයක්. හැබැයි දරුවන්ට මේ අත්‍යාවශ්‍ය කාරණාව වැඩි වශයෙන් මඟ හැරෙනවා. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන්ට. ඒ වගේම කුඩා දරුවන් ඉතා ඉක්මනින් විජලනයට ලක් වෙනවා. නිතර වතුර බොන්න දරුවන් හුරු කරන්න. ඒ වගේම එහි වැදගත්කමත් කියලා දෙන්න.
5. වැඩිහිටියන්ටත් වඩා දරුවන්ට අනිවාර්ය අත්‍යාවශ්‍ය වුවක් තමයි නින්ද. කුඩා දරුවන්ට රාත්‍රී පැය 8කට වැඩි කාලයක නින්දක් ලබා දීම අත්‍යාවශ්‍යයි. දරුවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට නින්ද ඉතාමත් වැදගත්. අපිට එක දවසක් නිදා ගන්න බැරි වුනොත් ඇති වෙන තත්ත්වයත් එක්ක බලද්දී නින්ද අහිමි වීම දරුවන් තුළ ව්‍යාකුල තත්ත්වයන් ඇති කරන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.
6. විවේකය ලබා දෙන්න. දැන් කාලේ දරුවන්ට ඉස්සර වගේ නිදහසක් වගේම සුන්දර ළමා කාලයක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඔයාගේ දරුවාව කිසිම වෙලාවක අධ්‍යාපන හා විෂය භාහිර කටයුතු වලටම විතරක් හිර කරන්න එපා. දරුවාගේ ළමා කාලය පොත් වලටම යට කරලා දාන්න එපා. දරුවන්ට සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, වැලි ටිකක්, මඩ ටිකක් අතගාන්න, ඇලක දොළක නාන්න ඉඩ දෙන්න. පරිසරයට සංවේදී වූ දරුවෙක් නිර්මාණය කරන්න.