ආදරය සුන්දරයි කියල කිව්වට එක හැම වෙලාවේම එහෙම නැහැ. ඇතැම් වෙලාවට ඒක ගොඩාක් සංකීර්ණයි. තේරුම් ගන්න අමාරුයි. කල් යන්න යන්න නොගැලපීම්, අඩුපාඩු වැඩිපුර පෙන්න ගන්නවා. එහෙම වෙන්න හේතු කීපයක්ම තියෙනවා. එක හේතුවක් තමයි අපි ආදරය කියල හිතන් ඉන්න සමහර බැඳීම් ඇත්තටම ආදරය නොවීම. ඇතැම් අය අනිත් කෙනා සම්බන්ධයෙන් ඇති වෙන ආකර්ෂණය අදාරය කියල හිතනවා. ඒක වැරදියි. ආදරයයි ආකර්ෂණයයි කියන්නේ අපි හැමවෙලේම වගේ පටලවා ගන්නා මාතෘකාවන් දෙකක්.
ආදරය කියල හිතාගෙන ආකර්ෂණයට රැවටිලා සම්බන්ධතා ඇති කර ගත්තම වෙන්නේ ප්‍රශ්න ඇති වෙන එක විතරයි. මොකද ආකර්ෂණය කියන දේ හැමදාම එකම කෙනෙක් කෙරේ පවතින්නේ නැහැ. අපේ ලස්සන හා හැසිරීම්, ආකල්ප මත තව කෙනෙක් තුල ඇති වන ආකර්ෂණය අපි ළඟ ඒ දෙවල් නැති වෙද්දීම නැති වෙලා යන්න පුළුවන්. ඒත් සැබෑ ආදරය කියන්නේ ඒ විදියට අද තිබිලා හෙට නැති වෙලා යන තාවකාලික බැඳීමක් නෙවෙයි.
මේ කාරණාව ගැහැණු පිරිමි කියලා භේදයක් නැතිව දෙපාර්ශවයටම අදාළයි. ඔයාට ඔයාගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද, ඔයාගේ හිතේ එයා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද, ඔයාට එයාව දැනෙන්නේ කොහොමද කියන කාරණා වලින් මේ ගැන හරියටම දැන ගන්න පුළුවන්. බලන්න ඔයාල දෙන්න අතරෙත් මේ දේවල් තියෙනවද කියාලා. එහෙම තියෙනවා නම් ඔයාල ඇත්තටම ආදරය විඳින අය.
1. ඇහුන්කන් දීම
ආදරයේදී විතරක් නෙවෙයි හැම සම්බන්ධතාවයක්ම පවත්වා දෙන යන්න ඇහුම්කන් දීම අනිවාර්යෙන් ඕන කරනවා. අනිත් කෙනා කියන දේ ගැන කිසිම තැකීමක් නොකර එයාව ගණන් නොගෙන ඉන්න ගියොත් ඉතින් ඒ සම්බන්ධතාවය පවතින්නේ අනිත් කෙනාගේ ඉවසීමේ සිමාව වෙනකන් විතරයි. ඒ නිසා ඇහුන්කන් දෙනවා වගේ පෙන්නන්නේ නැතුව ඇත්තටම අනිත් කෙනා කියන දේ ගැනත් අවධානය යොමු කරනවා නම් එතන ඔයා ගැන ආදරයක් සැලකිල්ලක් තියෙනවා කියලා හිතන පුළුවන්. ඔයාගේ අවවාද වගේම උපදෙසුත් වැදගත් කරලා සලකනවා නම්. දෙයක් කරන්න කලින් ඔයාගේ අදහස් ගැනත් අහල බලනවා නම් අන්න ඒ සහකරු, සහකාරිය ඇත්තටම ඔයාට වැදගත් තැනක් දීල තියෙනවා.
2. හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන්නේ නැහැ
එයාගේ ජිවිතේ ගැන එයාගේ අතීතය ගැන හැම දෙයක්ම ඔයා එක්ක කියල තියෙනවා නම් එයාගේ අවංක කම එකෙන්ම තහවුරු වෙනවනේ. අතීතයේ තිබුණු වෙනත් සම්බන්ධතා හෝ වෙන වෙන සිදුවීම් ගැන වගේම එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම open කතා කරන එක අවංක ආදරවන්තයෙක්ගේ ලක්ෂණයක්. සැක කිරීම්, ප්‍රශ්න කිරීම්, මත ගැටුම් ඇති වෙන්න ඔය හැංගි හොරා කරන වැඩයි කරපු වැඩයි හිතේ තියාගෙන පිටට වෙන මුණක් පෙන්නගෙන ඉන්න ගියහම තමයි.
3. ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරයි
ඔයත් අවංක ආදරයක් උරුම කර ගත්ත කෙනෙක් නම් ඉතින් මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔයා කියන ඕනෑම දෙයක් කරන්න එයා පෙළඹෙනවා නම්, ඔයාගේ ඕනෑ එපාකම් ගැන ගොඩක් හොයල බලනවා නම්, ඔයාගේ සතුට වෙනුවෙන් දේවල් කරනවා නම් එක ආකර්ෂණයට එහා ගිය ආදරණීය බැඳීමක් කියල කියන්න පුළුවන්.
4. වාද විවාද
ආදරය කරන අය අතරේ ඉතින් වැඩිපුර තියෙන්න වාද විවාද, තර්ක, බහින් බස් වීම් තමයි. සමහර විට ඔයාල අතරත් ඕන තරම් එහෙම දේවල් සිද්ධ වෙනවා ඇති. හැබැයි ඒ දේවල් ගොඩාක් ආදරණිය හා සුන්දර දේවල්, එහෙම නැතුව තරහින් වෛරයෙන් පිරුණු දේවල් නෙවෙයිනේ. එහෙම නැතුව එයත් ඔයා එක්ක නිතරම වාද කරනවා නම් හැම දේටම හරස් වෙනවා නම්, හැම තිස්සෙම එයා හරි ඔයා වැරදි කියල හිතන් ඉන්නවා නම්, නිතරම ඔයා එක්ක තරහෙන් නම් ඉන්නේ ඇත්තටම එතන ආදරයක් තියෙනවද කියල ප්‍රශ්නයක් ඇති වෙනවා.
100%ක් ගැලපෙන අය කොහෙවත් නැහැනේ. නොගැලපීම් ගලපා ගන්න ඕනේ. වැරදි, අඩු පාඩු පෙන්නලා දීල ඒවා වෙනස් කර ගන්න ඕන. දෙන්න ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දෙන්න අතරේ ආදරයක් තියෙනවා නම් මේ දේවල් ඉක්මනින් නිවැරදි කර ගන්න පුළුවන්. ඒත් ආදරේ කියලා හිතාගෙන ඔයා වෙන දෙයකට රැවටිලා නම් ඉන්නේ හැමදාම කෑ මොර දීගෙන තර්ක කර කර තමයි ඉන්න වෙන්නේ.
5. ඔයාගේ අදහස් වලටත් මුල් තැන දෙනවා
එයා කොච්චර මුරණ්ඩු, අහංකාර කොල්ලෙක් හෝ කෙල්ලෙක් උනත් ඔයා ඉස්සරහ ටිකක් නම්‍යශීලි වෙනවා. ආදරය කරන කෙනාගේ අදහස් වලටත් ඉඩ දෙනවා. තමන්ගේ ආදරය ඉස්සරහ මුරණ්ඩුකම, අහංකාරකම පැත්තකින් තියනවා. ඒ එයාට ඔයාව වැදගත් හා වටිනා නිසා. එහෙම නැතුව ඔයාව සත පහකට වත් ගණන් ගන්නේ නැත්තන් එයට ඔයාගේ අදහස් නෙවෙයි ඔයාව වත් වැදගත් නැහැ කියලනේ ඒ කියන්නේ. ඒ නිසා ඒ ගැනත් ටිකක් කල්පනාකාරී වෙන්න.
6. අනාගතය සැලසුම් කරනවා
ආදරය කරන කවුරුත් කැමතියි තමන්ගේ සහකරු, සහකාරිය එක්ක තමන්ගේ බලාපොරොත්තු සිහින බෙදාගන්න, ජීවිතය සැලසුම් කරන්න, විනෝද වෙන්න. ඔයාගේ සතුට, ඔයාගේ සිනහව එයාට ගොඩක් වැදගත්. ඒ වගේම මොන බාධකය ආවත් ආදරය කරන කෙනා තමන් ළඟින්ම තියාගන්නත් එයාට අවශ්‍යයි. ඇත්තටම ඔයාගේ පෙම්වතාත්, පෙම්වතියත් එහෙම කෙනෙක් නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඒත් සමහරු ඉන්නවා දෙන්න ගැන තියා තමන්ගේ අනාගතේ ගැන වත් කිසිම සැලසුමක්, බලාපොරොත්තුවක් නැතුව ඉන්න අය.එහෙම අය එක්ක ඉන්න ගියහම ඔයාගේ අනාගතෙත් අවිනිශ්චිතයි කියල ඔයාට තේරෙනවනේ.