කාන්තා සිරුරේ තවත් එක් වැදගත් පද්ධතියක් වන ප්‍රජනන පද්ධතිය නිරෝගීව තබා ගැනීම ආකාර දෙකකින් අපිට වැදගත් වෙනවා. ඒ මගින් අපගේ සෞඛ්‍යය තත්වය ආරක්ෂා වෙනවා විතරක් නෙවේ අපගේ අනාගත පරපුරේ පැවැත්මත් තහවුරු වෙනවා. මෙන්න මේ නිසයි අපි හැම විටම ප්‍රජනන පද්ධතියේ රෝගාබාධ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. බොහෝ දකුණු ආසියාතික රටවල වගේම ලංකාවෙත් මේ ප්‍රජනන පද්ධතියේ රෝග සම්බන්ධව මිත්‍යා විශ්වාස ගොඩක් තිබෙන නිසා බොහෝ ලෙඩ රෝග මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීමෙන් වැළකිලා යනවා. ඒ නිසා සෞඛ්‍යය ගැටළු විතරක් නෙවේ දරුවන් පිළිසිඳ නොගැනීම නැත්නම් මද සරු භාවය වුණත් ඇති වෙන්න පුළුවනි. එහෙනම් අද අපි කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන දැනුවත් වෙමු.
01) ENDOMETRIOSIS
මෙම රෝගී තත්වය ඉතාමත් කරදරකාරී පාලනය කිරීමට ඉතා අපහසු කාන්තාවකගේ ජීවිතයට ඉතා අහිතකර ලෙස බලපාන රෝගී තත්වයක් ලෙස හදුන්වා දිය හැක. ගර්භාෂයේ ගර්භ කුහරය තුල ඇත්තේ විශේෂ පටක ස්ථරයකි. මෙය කාන්තාවකගේ ශරීරයේ ඇති කාන්තා හෝමෝන වලට අධි සංවේදීතාවයක් දක්වයි. මෙම නිසා මෙම ගර්භ අභ්‍යන්තරයේ ඇති පටක ආර්තවයේ එක් කාලයකදී කාන්තා හෝර්මෝන සමග වර්ධනය වීමට පටන් ගනී. එමෙන්ම ආර්තව චක්‍රයේ අවසාන කාලය ලගා වනවිට ශරීරයේ කාන්තා හෝමෝන තාවකාලිකව අඩුවීමක් වන අතර එම නිසා මෙම අභ්‍යන්තර බිත්තිය බිද වැටී රුධිර වහනය වීමක් සිදුවෙයි. මෙය ඔසප් වීම ලෙස හදුන්වනු ලබන අතර සෑම දින 28 කට සැරයක්ම චක්‍රයක් ලෙස සිදුවෙයි.
මසකට වරක් අලුත්වන කාන්තා ගර්භාෂයේ පිහිටා ඇති පටක ඩිම්බකෝෂ වල පමණක් නොව සිරුරේ වෙනත් ස්ථාන වලත් පිහිටීම ENDOMETRIOSIS රෝගී තත්වයේදී සිදුවේ. එවිට හෝමෝනමය වෙනස්වීම සමග මෙම පටකය වර්ධනය වීම සහ බිඳ වැටීම ගර්භාශයේ පමණක් නොව එම පටකය ඇති වෙනත් ස්ථාන වලත් සිදුවේ.
ENDOMETRIOSIS දරු පිළිසිද ගැනීමට බලපාන්නේ කෙසේද?
මෙම රෝගී තත්වය කාන්තාවකගේ උදර කුහරය තුල, ඩිම්බකෝෂයේ අවට ඇතිවීමේදී මෙසේ වහනය වන රුධිරය ගෙඩියක ආකාරයෙන් එකතුවීම දැකිය හැකියි. මීට අමතරව මෙම රෝගී තත්වයේදී ගර්භාෂය, ඩිම්බකෝෂ, පැලෝපිය නාල සහ උදර කුහරයේ ඇති අනෙක් අවයව (උදා:- අතුනුබහන්) ආදිය එකට ඇලීමට පටන් ගනී. මීට අමතරව ඩිම්බයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය ද උදර කුහරය තුළ වැඩි වෙයි. එමනිසා මෙවැනි කාන්තාවන් පිළිසිද ගැනීමට ප්‍රමාදවීම ඉතා සුලබ තත්වයක් වෙයි.
ප්‍රතිකාර කවරේද?
මෙහිදී ඔෳෂධ ප්‍රතිකාර ලෙස බොහෝවිට දෙනු ලබන්නේ ආර්තවය තාවකාලිකව නතර කිරීමට අවශ්‍ය ඔෳෂධයි. නමුත් ආර්තවය නතර කල පසු දරු පිළිසිද ගැනීමේ හැකියාවත් ඉබේම නැති වී යන බැවින් ඔෳෂධීය ප්‍රතිකාර ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට නිර්දේශ කිරීම ඉතාම සැලකිලිමත්ව අත්‍යාවශ්‍ය අයට පමණක් සිදුකරනු ලැබේ. මෙම නිසා මෙම රෝගී තත්වයට පිලියම් කිරීම තවත් අපහසු වී තිබේ.
මීට අමතරව උදරයේ ගෙඩියක් ලෙස රුධිරය එකතු වී ඇත්නම් ශල්‍ය කර්මයක් මගින් එය ඉවත් කිරීම කල හැකි අතර එකට ඇලී ඇති අවයව ඉවත්කිරීම සහ මෙම එන්ඩොමෙට්රියෝසිස් රෝගී තත්වය ඇති තැන් හඳුනාගෙන එම ස්ථාන ශරීරයෙන් ඉවත්කිරීම හෝ පුච්චා දැමීම සිදුකල හැකිය. මෙය බොහෝවිට ලැපරෙස්කොපික් (LAPAROSCOPIC) ශල්‍යකර්මයක් ලෙස සිදුකරනු ඇත.
මෙම රෝගය නිට්ටාවටම සුවවන ප්‍රතිකාරය ලෙස ගර්භාෂය සහ ඩිම්බකෝෂ ඉවත් කිරීමේ ශල්‍යකර්මය දැක්විය හැක.
2) ෆයිබ්බ්‍රොයිඞ් FIBROID
ගර්භාෂ බිත්තියේ ඇතිවන හානිකර නොවන ගෙඩි (මාංශ පේශීවල වර්ධනයකි) විශේෂයකි. ඉතාමත් කුඩා ෆයිබ්‍රොයිඞ් එකක් හෝ දෙකක් කාන්තාවකට තිබිය හැකියි. එහි බලපෑමක් ඇති වන්නේ ප්‍රමාණයෙන් විශාල වූ විටයි. නැතිනම් විශාල සංඛ්‍යාවක් තිබීමෙනි. එයට හේතුව මෙම ගෙඩි ගර්භාෂයේ කුහරය ඇතුළට නෙරීමයි. ගර්භාෂ කුහරයේ බිත්ති ප්‍රමාණය වැඩිවීමෙන් අධික රුධිර වහනයක් සිදු විය හැකිය. එවැනි අවස්ථාවකදී අධික ලේ වහනයක් ඇතිවීම, ඔසප්වීමේ දී අධික වේදනාවක් ඇති වීම දැකිය හැකියි.
ගර්භාෂය ඇතුළට නෙරන ගෙඩි නිසා කාන්තාවන්ගේ සාඵල්‍යතාවය අඩු වේ. එයට අමතරව ගැබ් ගැනීමක දී එය නැතිවීමට (ගබ්සාවීමට) ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 -35 දක්වා කාලයේ දී ඔසප් චක්‍රයේ ඇතිවන විෂමතාවයන් ඉතාමත් අඩු ය.
දරුවෙක් බිහි කිරීමෙන් පසු ඔසප් චක්‍රයේ විෂමතාවයන් නිරාකරණය වෙයි. සිරුරේ ඇති හෝමෝන චක්‍රය කැඞීමෙන් පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රොම් වැනි තත්ත්වයක් සම්පූර්ණයෙන් ම නැති නොවුනත් මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙයි. දරුවන් දෙදෙනෙක් ලැබීමෙන් මෙම තත්ත්වය වඩාත් සුව අතට පත් වෙයි.
3) ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආසාදන
ගර්භාෂයේ සහ පැලෝපීය නාල වල ආසාදන බොහෝ විට හට ගන්නේ බැක්ටීරියා මගිනි. මේවාට විවිධ හේතු තිබේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග , සිරුරේ අභ්‍යන්තර තත්වයන් නිසා හටගන්නා රෝග සහ බාහිර අපවිත්‍රතා නිසාද කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ආසාධන හට ගනී. මේ මගින් සෞඛ්‍යය ගැටළු මෙන්ම මද සරු භාවයද ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.
ඔබගේ ප්‍රජනන පද්ධතිය ආසාදන වලට ලක් වී ඇති බවට රෝග ලක්ෂණ කීපයකින් දැන ගත හැක. අසාමාන්‍ය ලෙස යෝනි ශ්‍රාවයන් පිට වීම . බොහෝ විට වර්ණය වෙනස් වීම සහ දුර්ගන්ධයක් හැමීම සිදු වේ. මාස් ශුද්ධිය අතර කාල වල සුළු රුධිර වහනයක් දක්නට ලැබීම. අධික වේදනාකාරී ඔසප් දවස්. ලිංගික එක්වීම වේදනාකාරී වීම වැනි ලක්ෂණ ඇති වුව හොත් වහා වෛද්‍යවරයෙක් හමු වන්න.
ආරක්ෂාකාරී ලිංගික එක්වීම් වලට පමණක් සීමා වීම සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සනීපාරක්ෂාව රැක ගැනීම මෙම ආසාදන වලින් වැලකීමට හේතු වේ. ඇතැම් ආසාදන නිසා වඳ භාවය පවා ඇති විය හැකිය. ඔසප් දිනවලදී රුධිරය පිරුණ සනීපාරක්ෂක තුවා පැය 4 ක් වැනි කාලයක් ඇතුලත මාරු කිරීම සිදු කළ යුතුය. වැඩි වෙලා රඳවා තබා ගැනීමෙන් ආසාදන වලට ලක් විය හැකිය. එමෙන්ම රෙදි භාවිතා කරන්නේ නම් හොඳින් සෝදා, අව්වේ වේලා, මැද ගත යුතුය. දකුණු ආසියාතික රටවල නිසි ලෙස පවිත්‍ර නොකර විෂබීජ සහිතව රෙදි භාවිතා කිරීම නිසා කාන්තාවන් බොහෝ ගණනක් අවුරුදු පතා ප්‍රජනන පද්ධතියේ ආසාදන වලට ගොදුරු වේ.
කාන්තා මද සරු භාවය ඇති වෙන හේතු මුලින්ම හඳුනාගමු
මෙම රෝග තත්වයන් මුලින්ම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ කළ හැක. එවිට කාන්තා මද සරු භාවය වැනි අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදු නොවේ. නමුත් කණගාටුවට කරුණ නම් අප රටේ ඇති මිත්‍යා කතා නිසා බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මැලි වීමයි. ඔසප් දිනයට බයිසිකල් පැදීම වැනි කායික ක්‍රියාකාරකම් මගින් වඳ භාවය ඇති නොවෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එමෙන්ම ඔසප් දිනයට අඳින සනීපාරක්ෂක තුවා මගින් වඳ භාවය ඇති කළ නොහැකි බව වෛද්‍ය මතයයි. එම තුවා වෙලාවට මාරු නොකිරීම සහ නිසි ලෙස පවිත්‍ර නොකළ රෙදි භාවිතය මගින් ප්‍රජනන පද්ධතියේ ආසාදන ඇතිවීම නිසා ගැටළු ඇති වේ.
ඔබට දරු පිළිසිඳ ගැනීමේ ගැටළුවක් ඇත්නම් හැකි ඉක්මනින් නාරි හා ප්‍රසව වේදියෙක් හමුවී ප්‍රතිකාර වලට යොමු වන්න.
(මෙම සටහන ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වේදී කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රබෝධන ඝනවීර මහතාගේ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිනි. පහත සබැඳිය හරහා එම සාකච්ජාවක් නැරඹීමට ඔබට හැක.)
VIDEO