ඔබත් ඇස් කාච පළඳින කෙනෙක් නම් නින්දට යන්න කලින් කාච ඉවත් කරන්න ඕනේ කියලා හොඳින්ම දන්නවා. නමුත් ඉඳහිට එන තද නිදිමත නිසා ඔබට ඒක අමතක වෙන අවස්ථා ද උදා වෙනවා ඇති. සමහර විට ආකර්ෂණීය කාච යුගළයක් ඇස් වලට දාගෙන සාදයකට ගිහින් ගෙදරට එනකොට ගොඩක් අය ඉන්නේ වෙහෙසට පත් වෙලායි. එහෙම වෙලාවට ඔබට සිතෙන්නේ ඇඳ ගැන මිසක් ඔබේ ඇස් ගැන නෙමෙයි නේද? එහෙනම් ඔබ එහෙම ඇස් වල කාච පැලඳගෙන නින්දට යනකොට ඔබට ඇති වෙන සෞඛ්‍යමය අවදානම් ගැන දැනගෙන ඉන්න එක වටිනවා...
අඩු වාතාශ්‍රය
ඔබේ ඇසේ කනීනිකාවට ඔක්සිජන් අවශ්‍යයි. ඔබ කාච පළඳිනවා නම් ඔබේ කනිනිකාවට දැනටමත් ඔක්සිජන් ලැබෙන්නේ අඩුවෙන් වෙන්න පුලුවන්. රෑට ඔබත් අක්ෂි කාච සමඟ නින්දට යනවාද? එහෙනම් ඒකෙන් වෙන්නේ ඔබේ කනිනිකාවට ලැබෙන වාතාශ්‍රය ඊටත් වඩා අඩු වෙන එකයි. ඇමරිකානු පර්යේෂණයකින් පෙන්නුම් කරලා තියනවා ඔබේ කනිනිකාව ඉදිමෙන තරමට ඔක්සිජන් අන්තර්ගතය ද පහත වැටෙන්න පුලුවන් කියලා. ඉදිමීම විශාල නොවෙන්න පුලුවන්. නමුත් ඒක ඔබේ ඇසේ මතුපිට සෛල අතර කුඩා හිඩැස් ඇති කරන නිසා ඒකෙන් ඇස තුළ බැක්ටීරියා රැඳෙන්න ඉඩ තියනවා. මේක බොහෝ විට අක්ෂි ආසාදනයකට හේතු වෙන කාරණයක්.
අක්ෂි ආසාදන
ඔබ දිගටම අක්ෂි කාච සමඟ නිදා ගත්තොත් ඔබේ ඇස් වල ආසාදනයක් වැළඳීමේ අවස්ථාව වැඩි වෙනවා. ඔබ නින්දට යනකොට ඔබේ කාච ඉවත් කරන්නේ නැත්නම් එම අවස්ථාව හයත් අටත් අතර ගුණයකින් වැඩි වෙනවා. ඔබේ කාච මත බැක්ටීරියා පහසුවෙන් ඇති වෙන්න පුලුවන්. ඔබ ඒ ආකාරයට නින්දට ගිහින් ඇස් වසා ගන්නකොට මුළු රාත්‍රිය පුරාම ඔබේ ඇස්වලට එරෙහිව බැක්ටීරියා බිහි වෙනවා.
ඇස් දැවිල්ලේ සිට හානිය දක්වා
ඔබ තාමත් ආසාදනයක් නැතුව ඉන්න තරම් වාසනාවන්ත වුණත් ඔබ දැනටමත් පැළඳගෙන ඉන්න කාච සමඟ ටික වෙලාවක් නිදා ගත්තාත් ඔබේ ඇස් බොහෝ විට දැවිල්ලට හෝ ඉදිමුමට පත් වෙන්න ඉඩ තියනවා. මොකද එහෙම නිදාගෙන ඉද්දී ඔබේ ඇස් වියළී යනවා. ඒ අතර නැවත ඔබේ වියළි ඇස් වලින් කාච ඉවත් කිරීමේදී වුණත් දැවිල්ලක් හෝ හානියක් ඇති වෙන්න පුලුවන්.
එහෙනම් කෙටි නින්දක් ?
හරි, ඔබේ කාච සමඟ පැය අටක් නිදා ගැනීම හොඳ අදහසක් නෙමෙයි තමයි. නමුත් කෙටි නින්දකින් වුණත් ඔබට වේදනාවක් ගෙන දෙන්න පුලුවන්ද? ඔව්... පුලුවන්. ඒ නිසා ඒකත් හොඳ අදහසක් නෙමෙයි. ඔබ කාච එක්ක නින්දට වැටුණු මොහොතේම කනිනිකාව ටිකක් ඉදිමෙන්නට පටන් ගන්නවා. කෙසේ වෙතත් ඔබ වැඩි කාලයක් නිදාගන්නා තරමට ඔබට ඇති වෙන්න පුලුවන් අවදානම ද වැඩි වෙනවා. නමුත් මිනිත්තු 15 ක කෙටි නින්දකදී පවා ඇසේ මතුපිට සෛල අතර බැක්ටීරියා එකතු වෙන්න පුලුවන්.
ඉබේම නින්ද යාම
ඔබේ කුඩා ඇඟිල්ල ගැස්සෙන එක හිතාමතා සිදු නොවනවා වගේම (ඉබේම වෙන දෙයක්), ඔබට කාච සමඟම නින්දට වැටීමත් ඉබේම සිද්ධ වෙන අවස්ථා උදා වෙනවා ඇති. ඔබට එහෙම සිද්ධ වෙලා තියනවා නම් ඔබ පහත රෝග ලක්ෂණ අත්විඳිනවාද ? එහෙනම් ඉක්මනින්ම අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න :
ඇස්වල වේදනාවක් හෝ අසහනකාරී බවක් ඇති වෙන එක
ආලෝකයට වැඩි සංවේදී බවක් ඇති වීම
ඇස් රතු වීම
ඔබේ පෙනීම වෙනස් වීම
කඳුළු වැඩිපුර ගැලීම