ඕනෑම කෙනෙක් තමන්ගේ නිරෝගී බව ගැන අනිවාර්යෙන් හිතනවා. ඒ වගේම සෞඛ්‍ය රැක ගන්නත් ගොඩක් මහන්සි වෙනවා. එකනේ අපිට ලබන්න පුළුවන් ලොකුම ලාබය. ඒ මොනවා කරත් දවසෙන් දවස විවිධාකාර බෝ නොවන රෝග වැළඳීම සුලබ දෙයක් වෙලා. මොකක්ම හරි ලෙඩක් නැති කෙනෙක් නැති තරම්. හැමෝටම කියන්න මොකක්ම හරි තියෙනවා. වසරකට ලෝකය පුරා මිනිසුන් ලක්ෂ ගණනක් බෝ නොවන රෝග වැළඳීමෙන් මිය යනවා. ඒ අතරට ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් එකතු වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?
මිට කලින් කවදාවත් අහල තිබුනේ නැති අමුතු අමුතු ලෙඩ ගැන දවසින් දවස අහන්න ලැබෙනවා. ඒ වගේම ඒ මොකක්ම හරි අසනීපයක් වෙනුවෙන් රුධිර සාම්පලයක් පරික්ෂා නොකරපු කෙනෙකුත් නැති තරම්. මේ විදියට බෝ නොවන රෝග වලින් මිනිස්සු ගිල ගන්න මොන මොන හේතු බලපානවා ඇත්ද කියලා දැනුවත් වුනොත් මේවයින් තවමත් බේරිලා ඉන්න කිහිප දෙනා හරි පරිස්සම් වෙයි. මොකද නිරෝගී බව නැතිව මොන ලාබය ලැබුවත් වැඩක් නැති නිසා.
අපේ සාම්ප්‍රදායික ජිවන රාටාව හා ආහාර රටාවේ බිඳ වැටීම තමයි මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න බලපාපු මූලිකම හේතුව. ජිවිතේ දවසින් දවස කාර්යබහුල වෙද්දී අපි හැම දේටම කෙටි ක්‍රම හොයන්න පුරුදු වුනා. ඒ අපේ පහසුවට. මොකද දවසකට තියෙන පය 24ත් මදි වෙන තරමට අපි මාර busy වුණානේ. හැබැයි ඒ කෙටි මාර්ග අපිව ඉක්මනින්ම ලෙඩ්ඩු කරන්න මුල් වුණා.
ආහාර පාන ලබා ගනිද්දීත් අපි හැම වෙලාවකම ක්ෂණික ආහාර වලට පුරුදු වීම බෝ නොවන රෝග වලට බලපාන ප්‍රධානම තත්ත්වයක්. ඒ වගේම සෞඛ්‍යට අහිතකර අධික මේදය, පිෂ්ටය සහිත ආහාර හරි ඉක්මනින් අපිව මේ රෝග වලට ඇදලා දානවා. අපේ නිරෝගී බවට උදවු වෙන, පෝෂ්‍යදායි ආහාර ඈත් කරලා දිව රස නහර පමණක් පිනවන අරුමෝසම් ආහාර පාන වලට ගොඩක් දෙනෙක් හුරු වීම තමයි සාම්පදායික ආහාර රටාව බිඳ වැටිලා කියලා කියන්න හේතුව.
ඒ වගේම ශරීරයට අවශ්‍ය ව්‍යායාම ගොඩක් දෙනෙක් නොසලකාම හරිනවා. සමහර අයට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැහැ. තවත් සමහර අය වෙලාව තිබුනත් ඇඟ වෙහෙසන්න තියෙන කම්මැලිකම නිසා ඒ ගැන හිතන්නේ වත් නැහැ. නමුත් අපි අපේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අහාර ගන්න නිසා අනවශ්‍ය කැලරි දහනය කිරීම අත්‍යාවශ්‍යයි.
මත් පැන් සහ මත් ද්‍රව්‍ය කියන්නේ බෝ නොවන රෝග ඇති කරන්න, සෞඛ්‍ය පිරිහෙන්න, වගේම භයානක තත්ත්වයන් වලට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. මානසික නිරෝගී බව පිරිහීම නිසාත් බොහෝ දෙනෙක්ට මේ කියන තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මානසික ආතතිය නිසා හදවත් රෝග, දියවැඩියාව, ස්ථුල බව වගේ රෝග තත්ත්වයන් හට ගන්නවා.
තමන්ට හැකි විදියට ජිවන රටාවේ හා ආහාර රටාවේ වෙනස් කම් ඇති කර ගැනීම මගින් මේ තත්ත්වයන් බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්.