දෙදෙනෙක්ගේ විවාහයෙන් පස්සේ ඊළඟට දකින සිහිනය තමයි දරු පැටියෙක්ගෙ හුරතල් බලන එක. දරුවෙක් කියන්නේ අම්මෙක් තත්තෙක්ට තියෙන වටිනාම සම්පත. ඒකනේ දරුවෙක් කුසට ආපු දවසේ ඉඳලා මවක් ඒ තරම් පරිස්සම් වෙන්නේ, ඒ දවස එනකන් ඇඟිලි ගනින්නේ, ඒ වගේම තමයි දරු පැටියව මෙලොව එළිය දුටුව දවසේ ඉඳලා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සියලුම දේ ගැන අපි හොඳ සැලකිල්ලෙන් ඉන්නේ.
කුඩා වයසේ ඉඳලම ඔයාගේ අනිවාර්ය අවදානය යොමු වෙන්න ඕන දෙයක් ගැනයි අද කියන්න යන්නේ. පැටියා බහ තෝරනකන් අපි ඉවසිල්ලක් නැතුව බලන් හිටියත් ඒක ප්‍රමාද වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. එහෙම තත්වයන් ගැන ඔයාට මුල් අවදියේදීම දැන ගන්න පුළුවන් උනොත් හිතේ දුකක් ඇති කර ගන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා මේ දේවල් ගැන අදම සැලකිල්ලක් දක්වන එක දරු පැටියට වගේම ඔයාටත් හොඳයි.
දරුවන්ගේ කථනය ප්‍රමාද වෙන්න හේතු කීපයක්ම බලපානවා.
ශ්‍රවනය සම්බන්ධ ගැටළු මුලිකම හේතුවක් වෙන්න පුළුවන්. දරුවාට ශ්‍රවණය සම්බන්ධ ගැටළුවක් තියෙනවද කියලා ඔයාට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. විවිධ ශබ්ද වලට දරුවා දක්වන ප්‍රතිචාර මත එය නිරීක්ෂණය කල හැකියි. ශබ්ද වලට කථාවට දරුවා ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් හෝ ප්‍රතිචාර ප්‍රමාද වෙනවා නම් ඌනතාවක් ඇති නම් ඔබට එය ලේසියෙන් අඳුනාගන්න පුළුවන්. මෙහිදී ප්‍රතිචාර ලෙස දරුවා ඔයා දිහා බලන එක, ශබ්ද කිරීම, සිනාසීම වගේ හරිම සරල ප්‍රතිචාර තමයි දකින්න පුළුවන්. ඔයාටත් දරුවාගේ කථනය සම්බන්ධ ප්‍රශ්නයක් හෝ ඒ ගැන සැකයක් තියෙනවා නම් ශ්‍රවනය පිළිබඳව පරික්ෂා කරවා ගැනීම වඩා හොඳයි.
දරුවට දිව චලනය කිරීමේ අපහසුතා තියෙන්න පුළුවන්
අපිට කතා කරන්න උදවු වෙන මුලිකම අවයවය වෙන්නේ දිවනේ. දිව චලනය කිරීමේ හැකියාව මත කතා කිරීමේ හැකියාවත් තීරණය වෙනවා. දිව චලනය නිසි පරිදි චලනය කරන්න බැහැ කියන්නේ අනිවාර්යෙන් දරුවාට එය කථනය අපහසු කරවන්න හේතු වෙනවා කියන එක. අපි හැමෝගේම දිව පටලයකින් මුඛ සමඟ සම්බන්ධ වෙලානේ තියෙන්නේ. කන්ණාඩියකින් දිව යට බැලුවහම ඔයාට දකින්න පුළුවන්. මෙන්න මේ පටලය සමහර විටක කෙටි වෙන්න පුළුවන්. එහෙම වුනහම දිව අවශ්‍ය විදියට හසුරුවන්න බැරුව යනවා. එතකොට ශබ්ධ පිට කිරීමේ අපහසුතා ඇති වෙන්නවා.
මාංශපේශීන් වර්ධනය නොවීම
මුඛයේ මාංශපේෂින් අවශ්‍ය තරම් ශක්තිමත් නොවීම නිසාත් දරුවා තුල කථන ආබාධ ඇති වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය විදයට කතා කරන්න නම් මුඛය හා සම්බන්ධ අවයව ශක්තිමත් විය යුතුයි. ඒ කියන්නේ දිව, තොල්, උගුර වැනි අවයව. එහෙම උනහම කතා කිරීමේ අපහසුතා වගේම ආහාර ගැනීමේදී සැපීමේ හා ගිලීමේ අපහසුතාත් ඇති වෙන්න පුළුවන්.
මේ කියන ලද තත්ත්වයන් දරුවා තුළ දකින්න නැතත් ඔබේ දරුවාගේ කථනය ප්‍රමාදයි නම් ඇතැම් විට නිවසේ පරිසරය එයට හේතු වෙනවා විය හැකිය. දරුවා සමඟ නිතරම කතා කිරීම, ප්‍රශ්න ඇසීම, ශබ්ධ කිරීම තුළින් මේ වගේ තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්. ඔයා දරුවා එක්ක කතා කරන එක අඩු වෙන තරමට දරුවාගේ කතා කිරීමත් ප්‍රමාද වෙන්න පුළුවන්.
ඒ වගේම කුඩා වයසේ ඉඳලම දරුවන්ව රුපවාහිනිය පරිගණක ඉස්සරහා වාඩි කරවන්නත් එපා. දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා වැඩිහිටියන් ඇසුරට දරුවා යොමු කරන්න.
ඇතැම් විට මෙය ඔටිසම් හෝ ඩවුන් සින්ඩ්‍රෝම් තත්වයක් වෙන්නත් ඉඩ තියෙනවා.
හැබැයි දරුවාගේ කථනය ප්‍රමාද වූ පමණින් මෙය තීරණය කරන්න බැහැ. ඒ වගේම අනිත් අය එක්ක පවත්වන දුර්වල සම්බන්දතාවය වගේ ලක්ෂණත්, ඩවුන් සින්ඩ්‍රෝම් වැනි තත්වයකදී මුහුණේ හා ශරීරයේ වෙනස්කම් ආදියත් දකින්න පුළුවන්. වෛද්‍යවරයෙකු විසින් සිදු කරන නිසි පරීක්ෂණයක් හරහා එය හරියටම දැන ගන්න පුළුවන්.
ඔයත් අනිවාර්යෙන් මේ කියන දේවල් ගැන වැඩි අවධානයක් දුන්නොත් ඔයාදේ දරු පැටියටත් ඇති වෙන්න පුළුවන් මේ තත්ත්වයන්ගෙන් දරු පැටියව ආරක්ෂා කර ගන්න පුළුවන්.