සෑම විවාහක කාන්තාවක්ම ගර්භණී භාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා තිබීමෙන් මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයටද උපරිම ලෙස ආරක්ෂාව සලසා ගත හැකිය. එලෙසම ගර්භණි කාලය අවසානයේදී බුද්ධිමත් නීරෝගී දරුවෙකු හිමිකර ගැනීමට මව විසින් පිළිපැදිය යුතු කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතුය.
ගර්භණී භාවය පිළිබඳව ඔබගේත් තම ස්වාමියාගේත් නිවසේ වැඩිහියන්ගේත් වගකීම් කවරේදැයි හඳුනාගන්න.
කුස තුළ දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් විගස ඔබට කළ යුත්තේ කුමක්ද?
- මාසික ඔසප් සතියක් දෙකක් පමාවන විට ඒ බව ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියට දන්වන්න.
- එවිට ඇය ඔබේ නිවසට පැමිණ ඔබ පරික්ෂාකර බලා සෞඛ්‍ය සේවාව ලබාදීම සඳහා ගැබිණි මාතාවක් ලෙස ලියාපදිංච් කර ගර්භණී කාලය පුරා ඔබට වැදගත්වන "ගර්භණි සටහන් පතක්" ලබා දෙනවා. (දරු පිළිසිඳ ගැනීමක්ද යන්න තහවුරු කරගැනීමට මුත්‍රා පරීක්ෂණයක් කිරීම අත්‍යාවශ්‍ය නොවේ)
- ඔබ පළමු දරුවා ලබන කුළුඳුල් මවක් නම් මේ කාඩ්පතේ ඉහළ කොළවරේ "නිල්" ස්ටිකර් එකක් අලවනවා. එමගින් ඔබ පරික්ෂා කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබට විශේෂ අවධානය යොමු කරනවා.
- ඔබට ගර්භණී භාවයට අදාල අවදානම් තත්ත්වයක් (පෙර ගර්භණී භාවයේ විශේෂඥ ගැටලු හෝ රෝගී තත්ත්වයන් හෝ මෙම ගර්භණී භාවයේ විශේෂ ගැටලු) ඇත්නම් "රතු" ස්ටිකරයක්ද අලවනවා. එමගින් ඔබට තවත් වැඩිපුර අවධානය ලබාදීමට හා අවශ්‍ය නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරෙනවා.
මෙසේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනිය ඔබ ලියාපදිංච් කිරිමෙන් ඔබට සැලසෙන වෙනත් වාසි මොනවාද?
- ගර්භණී කාලය තුළ ඔබට අවශ්‍ය රැකවරණය හා උපදෙස් ලබාදීමත්, දරු ප්‍රසුතිය සඳහා ඔබ සහ පවුලේ අය සුදානම් කිරීමත්, දරු ප්‍රසුතියෙන් පසුත් ඔබේ නිවසට පැමිණ ඔබටත් අලුත උපන් දරු පැටියාටත් අවශ්‍ය රැකවරණය හා උපදෙස් ලබාදීමත් එමගින් සිදුවේ.
- ගර්භණි කාලය තුළත් ඉන් පසුවත් ඔබට ඇතිවිය හැකි අපහසුතා සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම.
- දරු ප්‍රසුතියෙන් පසු ඔබට අවශ්‍ය පවුල් සැළසුම් සේවාවන් හා උපදෙස් ලබා ගැනීමටත් ඇය ඔබට මඟ පෙන්වනවා.
ඔබ මාතෘ සායනයට සහභාගි විය යුත්තේ ඇයි?
ගර්භණී මවක් වන ඔබේ කුස තුළ වැඩෙන දරුවා මෙළොවට බිහිවනතුරු ඔබ දෙදෙනාට අවශ්‍ය ආරකෂාව ලබා ගැනීමට ඔබ අනිවාර්යයෙන්ම මාතෘ සායනයට සහභාගි විය යුතුයි.
ඔබ කවර අධ්‍යාපන මට්ටමක සිටියත් කුමන සමාජ පසුබිමක සිටියත් වෙනත් විශේෂඥ සායනයකට සහභාගි වුවත් ප්‍රදේශයේ මාතෘ සායනයට සහභාගි වීමෙන් ඔබට වාසි රැසක් ලැඛෙනවා.
- ඔබ සායනයට යන සෑම දිනකම ඔබේ මුත්‍රා පරීකෂණය සිදුකරන අතර රුධිර පීඩනය බර වැඩිවීම හා දරු ගැබේ වැඩීම පරිකෂා කර ඔබට දී ඇති මව් කාඩ්පතේ සටහන් තබනවා. ඒ සෑම දිනම වෛද්‍යවරයෙකු විසින් ඔබව පරික්ෂා කරන බැවින් ඔබේ ගැටළු ඔහු/ඇය සමග සාකච්ජා කිරීමේ අවස්ථාව ඔබට ලැඛෙනවා.
- යම් ආකාරයකින් ඔබට ගර්භණි කාලය තුළ විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍යනම් ඒ සඳහා ඔබට නිසි කලට නිසි රෝහලට යොමු කිරීමට ගමේ සායනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබට උදව් කරනවා.
- මේ සායනයේදී ගර්භණී කාලය තුළ ඔබට අවශ්‍ය සියලුම විටමින් වර්ග හා එන්නත් නොමිලේ ලබා දෙනවා.
- දරු ප්‍රසුතියක් සඳහා සුදානම් වන ඔබ ගර්භණී කාලය තුළදී දැනුවත් විය යුතු කරුණු බොහෝමක් සෞඛ්‍ය තොරතුරු රැසක් කියා දෙනවා.
ඔබේ ස්වාමි පුරුෂයාත් සායනයට කැටුව යාමට අවශ්‍යද?
ගර්භණී කාලය තුළ අවම වශයෙන් සායන දින 3ක් වත් ඔබේ ස්වාමියා සමග සායනයට යාමත් ඔබේ කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් ඔහුගෙන් ඉටුවිය යුතු වගකීම් යුතුකම් පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසීමටත් ඔහුට අවස්ථාව ලබා දෙන්න.
එමගින් ඔහු ගර්භණී කාලය පුරාමත් ඉන් පසුවත් ඔබේත් දරුවාගේත් ආරක්ෂාව සඳහා කළයුතු බොහෝ දේ පිළිබඳ දැනුවත් වෙනවා
වෛද්‍ය සාකච්ජාවක් ඇසුරිනි
සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්