අලුත් අවුරුදු සමය කියන්නේ බිඳුණු හිතවත්කම් නැවත පිළිසකර කර ගන්න වගේම පරණ හිතවත්කම් අළුත් කර ගන්නත්, අලුත් හිත මිතුරුකම් ඇති කර ගන්නත් පුළුවන් වෙන කාලයක්. හැම දෙයක්ම අලුත් වෙන, වෙනස් වෙන කාලයක්. ඒ වගේම අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් නැවත මතක් කර ගන්න පුළුවන් කාලයක්. අපි ළඟ තියෙන යහපත් පුරුදු ප්‍රගුණ කර ගන්න කාලයක්. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හෙළයේ සංස්කෘතික මංගල්‍යය විතරක් නෙවෙයි.
අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් ආරක්ෂා කර ගන්න වගේම අපි ළඟ තියෙන වටිනා ගුණ ධර්මත් රැක ගන්න සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හොඳ අවස්ථාවක්. මෙතෙක් කල් ආරක්ෂා කරගෙන ආව සාම්ප්‍රදයික් සිරිත් විරිත් ඉදිරියටත් රැක ගන්න අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා.එහෙම නැති වුනොත් කාලයක් යද්දී මේ හැම දෙයක්ම අභාවයට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ කරන කියන හැම චාරිත්‍ර චාරිත්‍රයක්ම අර්ථවත්ව හා හැඟීමකින්, නිසි අවබෝධයකින් කරන්න හිතට ගන්න. කරන්නං වාලේ කිසිම දෙයක් කරන්න එපා.
අලුත් අවුරුද්දට අපි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා වගේම නෑගම් යන්න, අසල්වැසියන් එක්ක අවුරුදු කාම පිඟානක් හුවමාරු කර ගන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඒ දේවල් වලින් අපේ හිතවත්කම් තව තවත් ශක්තිමත් වෙනවා. මෙදා පාර අවුරුදු කෑම පිඟානක් අසල්වැසි ගෙවල් වලට යවන්න කලින් මේ දේවල් ගැනත් ඔබ දැනුවත් වුනොත් හොඳයි කියලා හිතුවා.
ඕනෑම දෙයක් කරද්දී ඒකෙ පිළිවෙලක් පිරිසිදුවක් තියෙනවා නම් ගොඩාක් වැදගත්. ඒ නිසා කෑම පිඟානක් සුදානම් කරද්දීත් ඒ පිළිවෙල හා පිරිසිදු බව ආරක්ෂා කර ගන්න මතක තියා ගන්න. කෑම පිඟාන වුනත් දෙද්දී ප්‍රියමනාපව බවක් ඇති වන විදියට ඒක පිළිගන්වන්න. කිරිබත් කෑල්ල උඩින්ම ලුණු මිරිස් ටිකත් තියන්නේ නැතිව එක පිඟානේ අයිනකින් තියන්න. එහෙම නැත්තන් කිරිබත් හා ලුණු මිරිස් ටික වෙනම දීසියක තියලා පිළිගන්වන්න. එහෙම නැත්තන් සමහර වෙලාවට කැවුම් වලත් ලුණු මිරිස් ගෑවිලා. පොල් ටොපි වලත් ලුණු මිරිස් ගෑවිලා. එහෙම වෙන්නේ නැතුව පිළිවෙලට ලස්සනට අවුරුදු කෑම පිඟාන ලැස්ති කරන්න. කැවිලි වර්ග ටික වෙනම පිඟානක තියලා පිළිගන්වන්න.
කෑම පිඟානේ පිළිවෙල, පිරිසිදු බව වගේම ආහාර වලත් පිරිසුදු බව ආරක්ෂා කර ගන්නත් අමතක කරන්න එපා. ඒ නිසා කෑම ටික හදද්දී පිරිසිදුවට හදන්න. එහම නැති වුනොත් ගෙදර අයයි, අසල්වැසි අයයි ඔක්කොම අමාරුවේ. ඒ වගේම ආහාර පිළියෙළ කරද්දී භාවිතයට ගන්නා භාජන, පිඟන්, හැඳි, ගෑරුප්පු, ආදී හැම දෙයක්ම පිරිසිදුව තියා ගන්න. කෑම පිඟානේ විතරක් නෙවෙයි කෑම මේසයේත්, මුළුතැන් ගෙයිත් මේ කියන පිළිවෙල හා පිරිසිදු බව ආරක්ෂා කර ගන්න. කරන්නන් වාලේ කරන්නේ නැතිව හැම දෙයක්ම හැඟීමක් ඇතිව කරන්න. අලුත් අවුරුද්ද සැබෑ ලෙසම අර්ථවත් කර ගන්න.