කෑම කන වයසේ පොඩ්ඩෙක් ගෙදර ඉන්න අම්මලා තාත්තලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ අයට කෑම කවන එක. මොකද අම්මලා තාත්තලා කියන්නේ පොඩ්ඩන්ට කෑම කවන එකත් හරියට යුධයක් කරනවා වගේ වැඩක් කියලා. මේ නිසාම අම්මලා තාත්තලා ඉන්නේ ප්‍රශ්න ගොඩක මොකද පොඩ්ඩට හරියට කවා ගත්තේ නැත්නම් එයාලගේ වර්ධනයට නරක විදිහට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසාම තමයි එක වයසේ පොඩ්ඩෝ ඉන්න අම්මලා තාත්තලා කොහේදී හරි සෙට් උනොත් බබාලට කෑම කවන ප්‍රශ්නේ ගැන වැඩිපුරම කුටු කුටු ගන්නේ.
ඇත්තටම දරුවෝ කෑම කන්න අදිමදි කරන එක ලොකු ප්‍රශ්නයක් ද? අපේ අම්මලා තාත්තලා මේ ගැන ලොකුවට හිතුවට ඇත්තටම දරුවෝ කෑම කන්න උනන්දුවක් නොදක්වන එක බොහොම සාමාන්‍ය දෙයක්. මේ තත්වය ඕනෙම දරුවෙක් ගෙන් අඩු වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. දරුවෙක් අද අසාවෙන් කන දෙයක් හෙට කන්න අදිමදි කරන්න පුළුවන්. ඊයේ ටිකක් වැඩිපුර කෑව දරුවෙක් අද බොහොම ටිකක් කන්න පුළුවන්. අලුත් අලුත් රස වල කෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම එක එක දරුවාගේ පෝෂණ අවශ්‍යතාවය මත තීරණය වෙන බොහොම සාමාන්‍ය දෙයක්. ටිකක් වැඩිපුර ක්‍රියාශීලි දරුවන් අනෙක් දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් කන්න පුළුවන්.ප්‍රධානම දේ ඔබේ දරුවා නිරෝගීව හොඳින් ඉන්නවා නම් එයා දවසකට ගන්න ආහාර ප්‍රමාණය එයාට හොඳටම ප්‍රමාණවත්. ඔබ අනවශ්‍ය විදිහට ඒ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ.
කොහොම උනත් අම්මලාට තාත්තලාට ප්‍රශ්නයක් උන බබාලාගේ කෑම ප්‍රශ්නය විසඳ ගන්න උදවු කරගන්න පුළුවන් පොඩි උපදෙස් ටිකකුත් අපි දෙන්නම්.
01.දරුවාගේ කෑම වෙලාව දරුවා සතුටින් ගත කරන වෙලාවක් කරන්න
දරුවෙක්ට හොඳ අහාර වේලක් ලබාගන්න අවශ්‍ය වෙන්නේ රස ගුණ පිරුණු ආහාර වේලක් විතරක්ම නෙවෙයි. කෑම කන වෙලාවේ දරුවා ඉන්න මානසික තත්වයත් දරුවට හොඳ ආහාර වේලක් ගන්න බලපානවා. දරුවා ඉන්නේ සතුටින් නම් ඒ මගින් ඔහුට වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න පෙළඹවීමක් සිදු වෙනවා. මේ නිසා හැකි සෑම අවස්ථාවකම දරුවාගේ ආහාර වෙලාව එයා කැමැත්තෙන් ගත කරන සතුටින් ඉන්න වෙලාවක් කරන්න.
02. ආහාර ගන්න දරුවට බල කරන්න එපා
ගොඩක් දෙමාපියෝ කරන ලොකු වැරද්දක් තමයි මේ. කොහොම හරි දරුවට කෑම ටික කවන්න ඕනේ කියලා හිතලා බලෙන් හරි දරුවාගේ කටට කෑම ටික ඔබනවා. මේ නිසා වෙන්නේ දරුවට කෑම කන එක අප්‍රසන්න අත්දැකීමක් බවට පත්වෙන එක. අන්තිමේදී දරුවා ඔහු කමතෙන් කන කෑම වර්ගත් කන එක අත්හරිනවා. මේ නිසා කිසිම අවස්ථාවක දරුවට කෑම කන්න බල කරන්නවත් බලෙන් කෑම කවන්නවත් උත්සහ කරන්න එපා.
03. ගුණවත් ආහාර රසවත් වගේම ලස්සනට පිළිගන්වන්න
පුංචි දරුවෝ කොහොමත් කැමතියි විවිධ හැඩ වලට, පාට වලට වගේම රස වලට. ඔබට පුළුවන් නම් දරුවට ලබාදෙන ගුණවත් ආහාර දරුවට කන්න කැමැත්තක් ඇතිවෙන විදිහට ලස්සනට වගේම රසවත්ව හදන්න. ප්‍රශ්නයක් නැතුවම ඔබට පුළුවන් වේවි දරුවට කෑම ටික කවාගන්න.
04. ආහාර සකස් කරන්න දරුවත් සම්බන්ධ කරගන්න
දරුවන්ගේ ආහාර රුචිය වැඩි කරන්න අත්හදා බලන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ. දරුවට කෑම හදන වේලාවට එයාවත් ඒ වැඩේට සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේ නිසා කැමැත්තෙන් ආහාර ගන්න දරුවාට පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් එක එක හද වලට දරුවාගේ කෑම එක සකස් කරන්න දරුවාව සම්බන්ධ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බිත්තර වලින් බෝට්ටු හදන්න. පාන් සහ තම්බා ගත් එළවලු වලින් මාළුවෝ, කුරුල්ලෝ වගේ සත්තු හදන්න.
05. පරිස්සමින් අලුත් රසවල් හඳුන්වා දෙන්න
පුංචි දරුවන්ට අපි එක එක රස වල කෑම හඳුන්වලා දෙනකොට ඒක කරන්න ඕනේ බොහොම හිමිට. දවස් තුන හතරකට සැරයක් දරුවා සාමාන්යෙන් කන කෑම වර්ගත් එක්ක අලුත් කෑමක් එකතු කරන්න. හොඳින් බලන්න දරුවා ඒ කෑම වර්ගයට දක්වන ප්‍රතිචාරය. දරුවා කැමැත්තෙන් කනවා නම් ඔහුට ප්‍රශ්නයක් නැතුව දිගටම ඒ දේවල් දෙන්න පුළුවන්. හැබැයි දරුවා අකමැත්තක් දක්වනවා නම්. ටික දවසක් ඒ ආහාර වර්ගය දෙන්නේ නැතුව ඉඳලා දවස් කිහිපයකට පස්සේ නැවත උත්සහ කරන්න.
මේ විදිහට පුංචි පුංචි ක්‍රම ටිකක් පාවිච්චි කරලා අම්මලාට තාත්තලාට පුළුවන් දරුවන් කැමැත්තෙන් කෑම නොකන ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න. කොහොම උනත් මේ කරනවත් මතක තියාගන්න. දරුවන්ගේ කෑම කන්න තියෙන අකමැත්ත හැමදාමත් ඒ විදිහටම තියෙන්නේ නැහැ . ඒ අය ටික ටික ලොකු වෙනකොට ටිකින් ටික කෑම කන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා . අලුත් අලුත් රස වල කෑම කන්න පෙළඹෙනවා. මේ නිසා දරුවන්ගේ කෑම ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා.