අක්මාව පිහිටලා තියෙන්නේ උදරයේ දකුණු පැත්තේ ඉළ ඇටයට යටින්. රුධිරය පෙරීම, ආහාර මෙන්ම ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය පරිවෘත්තීය කිරීම, විෂ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම සඳහා අක්මාව උපකාරී වෙනවා. කොහොම වුණත්, නිදන්ගත අක්මා හානි වලට ප්‍රතිකාර නොකළහොත් අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්න පුළුවන්. අක්මාවට හානි වීමට හේතු අතර අධික ලෙස මත්පැන් පානය කිරීම, ඖෂධ, වෛරස් ආසාදන සහ ස්වයං ප්‍රතිශක්තිකරණ සහ ජානමය තත්වයන් ඇතුළත් වෙනවා. මෙන්න මේ ලක්ෂණ ඔයාගෙනුත් පෙන්නුම් කරනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙම අනිවාර්යයෙන් කරන්න..
01. ආහාර රුචිය වෙනස් වීම
හානියට පත් අක්මාවකට ආහාර වල ඇති මේද හා ප්‍රෝටීන් පරිවෘත්තීය ක්‍රියාවලියේ යොදවන්න අපහසුයි. පිත නිපදවීම මන්දගාමී වන නිසා මේද ආහාර සමඟ කටයුතු කිරීම දුෂ්කර වෙනවා. නිදන්ගත අක්මාවට හානි වූ පුද්ගලයින්ට ඔක්කාරය, වමනය සහ මේදය හා ප්‍රෝටීන් බහුල ආහාර සඳහා අප්‍රසන්න බවක් ද ඇති විය හැකියි.
02. සමේ වෙනස්කම්
අක්මාවට හානි වීමෙන් හෝමෝන වෙනස්කම් ඇති විය හැකි අතර එමඟින් කුඩා රුධිර වාහිනී ප්‍රසාරණය විය හැක. මෙම නහර මුහුණේ සහ උදරයේ වඩාත් කැපී පෙනේ. මුහුණේ සම, අත් සහ පාද වල රතු පැහැයක් ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර සාමාන්‍යයෙන් ඒවා හෝමෝන වෙනස්කම්, විටමින් ඌනතාවයන් හෝ සනාල පද්ධතියේ පීඩනය වැඩි වීම නිසා සිදු වෙනවා. නමුත් අක්මාවට හානි වීමේදී සෙංගමාලයට සම කහ පැහැති පෙනුමක් ලබා දෙනවා. සෙංගමාලය ඇතිවන්නේ අක්මාව මගින් පරිවෘත්තීය වීම වෙනුවට අපද්‍රව්‍යයක් වන බිලිරුබින් සෑදීමෙන් ය. බිලිරුබින් අඛණ්ඩව ඉහළ යාම අක්මා රෝගයක ලකුණක් විය හැකියි. කොහොම වුණත්, වෙනත් රෝගී තත්වයන් තුළදී ද බිලිරුබින් ඉහළ යා හැකියි.
03. තෙහෙට්ටුව
අක්මාවට හානි වීම නිසා යම් කාර්යයන් ඉටු කිරීමේදී අධික වෙහෙසක් දැරීමට සිදු වෙනවා. හානි වූ අක්මාවක් සාමාන්‍ය අක්මාවට වඩා සෙමෙන් සෙමෙන් විෂ පෙරීම සිදු කරන නිසා මෙය තෙහෙට්ටුව ඇති වීමට හේතු විය හැකියි. මෙසේ ශරීරයේ විෂ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මොළයට ද හානි විය හැකියි.
04. උදරයේ ඉදිමීම
අක්මාවට හානි වූ විට අක්මාවේ හැඩයේ හෝ ප්‍රමානයේ වෙනස් කම් සිදු වෙනවා. මේ හේතුවෙන් අක්මාව ඉදිමීම නිසා උදරය අසාමාන්‍ය ලෙස ඉදිමීමක් පෙන්නුම් කරනවා.
05. මලපහ වල වෙනස්කම්
අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපන වන විට ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. එවිට බඩවැල් තුළ ඇති විෂ ද්‍රව්‍ය වෙනවා. මෙය මලබද්ධය හෝ පාචනය ඇති කිරීමට හේතු විය හැකියි. අක්මාවට හානි වීමේ පසු අවධියේදී, අක්මාවට තවදුරටත් පිත සහ බිලිරුබින් නිපදවීමට හා සැකසීමට නොහැකි වීම නිසා මලපහ දුඹුරු පැහැය වෙනුවට ලා පාටින් පිට වීම සිදු වෙනවා. .
06. මුත්‍රා වල වෙනස්කම්
අක්මාවට බිලිරුබින් පරිවෘත්තීය කිරීමට නොහැකි වීම නිසා එය බැහැර කිරීමේ ක්‍රියාවලියේදී මෙම අපද්‍රව්‍ය රුධිරයට එකතු වෙනවා. රුධිරයේ එකතු වන බිලිරුබින් වකුගඩු මඟින් බැහැර කරන අතර එමඟින් මුත්‍රා තද පැහැයක් හෝ තේ කහට වල වර්ණය ඇති වෙනවා. අඳුරු මුත්‍රා යනු අක්මාවේ ඉතා උග්‍ර ගැටලුවක් පෙන්නුම් කරන අතර වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.
07. තැලුම් සහ ලේ ගැලීම්
ලේ කැටිගැසීමේ ප්‍රෝටීනය නිපදවීමේ වගකීම ඇත්තේ අක්මාවටයි. අක්මාවට හානි සිදු වූ විට මේ ක්‍රියාවලින් අඩපන වෙනවා. ඒ හේතුවෙන් සිරුරේ අසාමාන්‍ය තැල්මවල් ඇති වීම, තුවාල සිදු වූ විට ලේ ගැලීම නතර නොවීම වගේ දේ සිදු වෙනවා.
මේ හේතුව නිසා ශරීරය තුල අලුත් රුධිර වාහිණී නිපදවීම සිදුවෙනවා, විශේෂයෙන් උදරය තුල. මේ අලුත් රුධිර වාහිණී ඉතා පහසුවෙන් කැඩෙනවා. එවිට රුධිරය වමනය ලෙස හෝ තද පාටින් මලපහ ලෙස හෝ පිට වනවා.
08. කකුල් හෝ වළලුකර වල ඉදිමීම
අක්මාවට හානි වීමෙන් වළලුකරයේ සහ පාද වල තරලය එකතු වීමට හේතු වෙනවා. මෙය සිදුවන්නේ රුධිර ප්‍රෝටීන අඩු වීම හේතුවෙන්, තරල රුධිර වාහිණී වලින් පිටතර කාණ්දු වීම හේතුවෙනුයි.. ගුරුත්වාකර්ශණය නිසා මේ තරල සිරුරේ පහලට ඇද ගන්නවා. ඒ හේතුවෙන් පාද සහ වළලුකර ඉදිමීම සිදු වෙනවා.
09.අධි රුධිර පීඩනය
අක්මාවට හානි සිදුවීම හේතුවෙන්, රුධිර ගමනාගමනය අඩපන කරනවා. මේ හේතුවෙන් අක්මව වටා ඇති රුධිර වාහිණීමගින් වැඩි පීඩනයක් ඇති කරනවා. ඇතැම් විට රුධිර වාහිණී කැඩී යාම පවා සිදු වෙනවා.
10.අක්මා එන්සයිම ඉහල යාම
අමාවට හානි සිදුවෙන්න පටන්ගන්න විට රුධිරයේ අක්මා එන්සයිමය ඉහල යාමක් සිදු වෙනවා. මෙය සෑම නිදන්ගත අක්මා රෝගියෙකුගේම පෙන්නුම් නොකලත් සුළු අක්මා හානියකදී කරන රුධිර පරීක්ෂණයකදී මෙය හඳුනා ගන්න පුලුවන්.