මාතෘ පදවිය කාන්තාවන් තම දිවිය තුළ ලබන උසස්ම පදවියයි. මවුකුස තුළ වැඩෙන දරුවාට නිසි පෝෂණය ලබා දෙමින් නිසි ආරක්ෂාව ලබාදෙන සෑම මවක්ම පතන්නේ නිරෝගී බුද්ධිමත් දරුවෙකි. ගැබ මෝරා දරු ප්‍රසුතිය සිදුවන තෙක් ඇය මවන සිහින අනන්තය. අප්‍රමාණය. ඇය විදින දුක් ගැහැටද අනන්තය.
මුල් මාස කිහිපය තුළ ඔක්කාරය සහ වමනය බොහෝ ගැබිණි මවුවරුන්ට ඇති පොදු ලක්ෂණයකි. එහි ප්‍රතිපලය වන්නේ ඇයට සුපුරුදු ආහාර පාන ගැනීම අපහසුවීමයි. මේ නිසා දෛනික කටයුතු සාමාන්‍ය අයුරින් කරගෙන යාම අපහසුය.
දරුවා වෙනුවෙන් කොතෙක් අපහසුතා මධ්‍යයේ වුවද ඇය ආහාර ගැනීමට උත්සාහ දරයි. එහෙත් ඔක්කාරය සහ වමනය ඇයගේ මෙම උත්සාහය බොහෝ විට අසාර්ථක කරවයි.
මෙවැනි අවස්ථාවලදී කෙටි ආහාරවේල් නිරතුරුවම ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙයි. ඔක්කාර ගතිය නිසා කට තුළ ඇති වන අප්‍රසන්නතාවය නිසාම ඇඹුල් රස පළතුරුවලට ප්‍රිය කරයි. මිදි, අඹ, නෙල්ලි, වෙරළු, කටුලොවි, ඇඔරුල්ලා හා පේර වැනි දේ වලට ඇය වැඩි ප්‍රිය බවක් දක්වයි.
තමා ගන්නා ආහාරපාන තමාට වඩා දරුවා වෙනුවන්ම ගතයුතු බැවින් ඔක්කාරගතිය තිබියදීම වුවද කුස තුලට දමාගන්නා අහාර දිරවා සිරුරට උරා ගන්නා තෙක් ආරක්ෂා කර ගැනීමට ඇය විවිධ උත්සාහයක් ගනී.
උදේ දත් මැදීම දත්තාලේප වල සුවිශේෂී රසය සමහර ගැබිණි මවට ඔක්කාර තත්ත්වය වැඩි කරවයි. එබැවින් ඇය දත් මැදීමට වඩා කුස තුලට දමාගත් ආහාර ආරක්ෂා කර ගැනීමට වැඩි ස්ථානයක් ලබාදේ. එබැවින් ඇය දත් බුරුසුවෙන් දත් මැදීම වෙනුවට ඇඟිල්ලෙන් දත් මැදීම, දත්තාලේප නොමැතිව දත් මැදීම, නැතහොත් කට සේදීමට පමණක් දත් මැදීම සීමා කිරිම සිදුකරයි.
මේ සියලූ කරුණු කාරණා වල ප්‍රතිඵලය වන්නේ කට තුල මැලියම් නිරතුරුවම සෑදීමයි. මැලියම් නිවැරදිව සහ නිරතුරුව ඉවත් කිරිමේ අවශ්‍යතාවයද ඇයගෙන් ගිලිහේ. මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන ගැබිණි මව නිරායාසයෙන් විදුරුමස් රෝගයට ගොදුරු වේ. විදුරුමස ඉදිමී, රතු වී සමහර විට වේදනාව ගෙන දෙයි. දත් මදින විට ලේ ගලයි. වේදනාවෙන් ලේ ගලන විදුරුමසක් ඇති අයට දත් මැදීමට තව තවත් මැලි කරයි. දින සති වෙමින් සති මාස වෙමින් ගැබිනි මව විදුරුමස් රෝගයට මෙලෙස ගොදුරු වෙයි.
මෙම කාලය තුල ඇඹුල් රස ආහාර වලට ප්‍රිය කරන ඇයට ඔක්කාර අවස්ථා වලදී පිටවන වමනය නිසාද කට තුළ ඇඹුල් රසෙන් යුත් පරිසරය, දත් දිරා යාමේ රෝගයේ අවදානම තව තවත් වැඩි කරවයි. එබැවින් ගැබිණිය දත් දිරා යාමේ රෝගයටද වැඩි ප්‍රවනතාවයක් දක්වයි.
එහෙත් දරු ප්‍රසුතියට ආසන්න කාලයේදී හෝ දරු ප්‍රසුතියෙන් ස්වල්ප කලකට පසු ඉවසිය නොහැකි දන්තාබාධයක් තිබීම ඇයගේ කායික සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයට විවිධ බලපෑම් ඇති කරවයි. එපමණක් නොව දරුවාටද මෙම බලපෑම අනියම් ලෙස බලපෑම් ඇති කරවයි.
මෙම සියළු තත්ත්ව වලින් ඇය ආරක්ෂා කරගත යුතුයි. එපමණක් නොව ප්‍රතිකාරවලදී දන්ත බැක්ටිරියා ළදරු මුවට හුවමාරු විය හැකි බැව් වෛද්‍ය විශේෂඥ මතයයි. එහි ප්‍රතිඵලය වන්නේ දරුවා නුදුරු අනාගතයේදීම දන්ත ව්‍යසන රෝගයට වැඩි ප්‍රවණතාවයක් දැක්වීමයි.
එබැවින් සෑම යුවතියක්ම විවාහයට පෙර රැකගෙන ආ මුඛ සෞඛ්‍යය ගැබිණි සමය තුලද එලෙසම රැකගත යුතුය. එහෙත් ඇතැම් ගැබිණි බව මුඛ රෝගවලට අවදානම් තත්ත්වයක් නිසා මෙම කාලය තුල අවම වශයෙන් දවසකට එක් වරක් හෝ නිවැරදිව දත් මැලියම් සියල්ල ඉවත් වන සේ ක්ලෝරයිඩ් සහිත දත්තාලේපයකින් දත් මැදිය යුතුය. ඔක්කාරයෙන් පසු හොඳින් කට සෝදා දැමිය යුතුයි.
විදුරුමසින් ලේ ගැලීමක් හෝ විදුරුමසින් වේදනාවක් දැනුනහොත් වහා දන්ත ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. තමා හට මුඛ රෝගයක් නැතත් ගැබිණි සමයේ මුල් මාස කිහිපය තුල දන්ත වෛද්‍යවරයෙකු ලවා මුඛ පරීක්ෂාවක් සිදුකොට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගත යුතුයි.
මෙලෙස ගැබිණි සමය තුල කාන්තාව තම මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමෙන් තමාට පමණක් නොව හෙට උපදින බිළිඳාගේ දත් රැක ගැනීමට අවශ්‍ය නිසි උපදෙස් ලබාදීම තුලින් පවුලේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගත හැකියි.
උපදෙස් - විශේෂඥ වෛද්‍ය ආර්.ඩී.එන්.සී. කාන්ති,අධ්‍යක්ෂිකා සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය.
සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්.