කොලෙස්ට්රෝල් යනු මොනවාද..?
කොලෙස්ට්‍රෝල් යනු ස්වභාවිකව මිනිස් ශරීරයේ අක්මාව මත නිපදවන ඉටි වැනි ලිපිඩ වර්ගයකි. එය සිරැර තුල සෛල පටක, විටමින් D සහ ඇතැම් හෝමෝන ජනිත කරවීමට උපකාරි වනවා. මෙම කොලෙස්ට්‍රෝල් ජලයේ දිය නොවන අතර රුධිරයේ ගමන් කිරීමට ද නොහැකියි. එමනිසා කොලෙස්ට්‍රෝල් පරිවහනය සඳහා අක්මාව තුළ ලිපොප්‍රෝටීන් (lipoproteins) නිපදවනු ලබනවා. එහි අන්තර්ගත වන්නේ මේද හා ප්‍රෝටීන් අණුයි. එමගින් අක්මාවේ නිපදවන කොලෙස්ට්‍රෝල් රුධිරය තුල ගමන් කරනු ලබනවා. මෙම ලිපොප්‍රෝටීන් (lipoproteins) සිරැර තුල ප්‍රධාන වර්ග 2ක් ලෙසට නිපදවන අතර ඒවා low-density lipoprotein (LDL) සහ high-density lipoprotein (HDL) ලෙස හඳුන්වනු ලබනවා. සරළව අධික ඝනත්වයෙන් යුතු ලිපොප්‍රෝටීන් සහ අඩු ඝනත්වයෙන් යුතු ලිපොප්‍රෝටීන් ලෙස මෙම වර්ග හැඳින්වීමට පුළුවන්.
අධි කොලෙස්ට්‍රෝල් යනු කුමක්ද..?
ඔබගේ රුධිරයේ low-density lipoprotein (LDL) ප්‍රතිශතය ඉහළ නම් අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබන අතර එය වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසටයි සැලැකෙන්නේ. නිසි ප්‍රථිකාර සිදුනොකිරීම ශරීර සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබන අතර හෘදයාබාධ, ආඝාතය ඇතුලු රෝග රැසකට හේතු වනවා. අධි කොලෙස්ට්‍රෝල් තිබීම කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති අතර ඔබගේ සිරැරේ කොලෙස්ට්‍රෝල් මට්ටම නිතිපතා රුධිර පරීක්ෂණයක් කිරීමෙන් පරීක්ෂා කර බැලිය යුතුයි.
ශරීරයේ තිබිය යුතු කොලෙස්ට්‍රෝල් මට්ටම සහ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පරීක්ෂා කරන්නේ කෙසේද?
ඔබ අවුරුදු 20 ට වැඩිනම් අවුරුදු 4කට හෝ අවුරුදු 6කට වරක් රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පරික්ෂා කල යුතුයි. නමුත් පෙර රුධිරයේ අධික කොලෙස්ට්‍රෝල් සම්බන්ධ රෝග ඉතිහාසයක් හෝ රුධිරවාහිනි සම්බන්ධ ගැටළු තිබුනේ නම් මාස 6කට වරක් හෝ ඉන්පෙර රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පරික්ෂා කිරීමට වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබනවා. නීරෝගි වැඩිහිටියකුගේ තිබිය යුතු කොලෙස්ට්‍රෝල් මට්ටම ලෙස ඩෙසිලිටරයකට (deciliter) මිලිග්‍රෑම් 170ට අඩු මට්ටම ලෙස සැලකෙනවා. ඉහල මට්ටම ලෙස 200 mg/dL සැලකෙනවා. LDL කොලෙස්ට්‍රෝල් මට්ටම (LDL cholesterol level) ඩෙසිලිටරයකට මිලිග්‍රෑම් 110ට (110 mg/dL) අඩුවිය යුතුයි.
ලිපිඩ පරීක්ෂණයක් මගින් රුධිරයේ ඇති සම්පූර්ණ කොලෙස්ට්‍රෝල් මට්ටම පිළිබද වාර්ථාවක් ලබාදෙන අතර එමගින් රුධිරයේ ඇති LDL මට්ටම සහ HDL මට්ටම පිළිබඳව පැහදිලි වාර්ථාවක් ලබාගත හැකියි. ඔබගේ රුධිරයේ අඩංගු සම්පූර්ණ කොලෙස්ට්‍රෝල් මට්ටමෙන් හෝ LDL ප්‍රමාණය ඉහළ අගයක් ගන්නේ නම් ඔබට අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් ඇති බවට සැලකෙනවා. කෙසේ නමුත් රුධිරයේ LDL මට්ටම වැඩිවී HDL මට්ටම අඩුවීම භයානක තත්ත්වයක් වන අතර ඉක්මන් ප්‍රථිකාර ලබාගත යුතුයි.
අධික කොලෙස්ට්‍රෝල් ඇතිවිට ලක්ෂණ
ඔබගේ සිරැරේ අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් ඇතිවිට පවා කිසිදු රෝග ලක්ෂණයක් දැකීමට නොහැකියි. එය "නිහඩ රෝගයක් (“silent illness” ) ලෙසයි හඳුන්වනු ලබන්නේ.. බොහෝ විට හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් වැනි සංකූලතා ඇති වූ විටයි බොහෝ දෙනෙකු තමන් හට අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් ඇති බව දැනගනු ලබන්නේ එමනිසා රුධිරයේ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නිසි රූටිනයකට අනුව පරීක්ෂාව වැදගත් වනවා. ඔබ අවුරුදු 20ට වැඩි නම් ඔබත් සාමාන්‍ය කොලෙස්ට්‍රෝල් පරීක්ෂාවක් සිදුකල යුතුදැයි වෛද්‍යවරයාගෙන් විමසා බැලීම වැදගත් වනවා.
අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් ඇතිවීමට බලපනු ලබන හේතු :
- මේදය අධික ආහාර ගැනීම හේතුවෙන්
- අධික දුම්පානය
- ක්‍රියාශීලි නොවන අලසකාරි දිවියක් ගත කිරීම
- ජානමය බලපෑම - ඔබගේ දෙමවුපියන්ට අධික කොලෙස්ට්‍රෝල් තිබේනම් ඔබටද ඇතිවීමේ අවදානමක් ඇත
- දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු තිබීම රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවීම කෙරෙහි බලපානු ලබනවා.
- familial hypercholesterolemia වැනි කළාතුරකින් ඇතිවන ජානමය ආබාධය හේතුවෙන්
අධි කොලෙස්ට්‍රෝල් තත්ත්ව ඇතිවීම වැඩිකරවනු ලබන හේතු සාධක :
1. අධික තරබාරුව / ස්ථූලතාවය
2. අහිතකර ආහාර රටාව
3. ව්‍යායාම නොකිරීම
4. දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන පරිහරණය
5. අධි කොලෙස්ට්‍රෝල් තිබීම පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම
6. වකුගඩු ආශ්‍රිත රෝග, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයන් තිබීම
7. ඉහත කිසිවකට අයත් නොවන ඕනෑම වයස් කාණ්ඩයක, ගැහැණු පිරිමි භේදයකින් තොරව අධි කොලෙස්ට්‍රෝල් ඇතිවිය හැකියි.. එමනිසා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්.
අධික කොලෙස්ට්‍රෝල් තත්ත්වය හේතුවෙන් ඇතිවන සංකූලතා
කාලාන්තරයක් පුරා අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් තිබීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර ඒවා ධමනි තුල තැන්පත්වීමෙන් ඒවා අවහිර වීම හේතුවෙන් වස්තුවට ලේ ගමනාගමනය අවහිර වන අතර ඒවා සිහින් වීම සිදුවනවා. මෙසේ ධමනි සිහින් වීම හේතුවෙන් විවිධ සංකූලතා ඇතිවිය හැකියි.
- ආඝාත
- හෘදයාබාධ
- පපුවේ වේදනා
- අධික රුධිර පීඩනය
- නිදන්ගත වකුගඩු රෝග තත්ත්වයන්
අධි කොලෙස්ට්‍රෝල් රෝගය විනිශ්චය කරන්නේ කෙසේද?
lipid panel. ලෙස හඳුන්වනු ලබන සරළ රුධිර පරීක්ෂණයක් මගින් රුධිරයේ කොලෙස්ට්‍රෝල් තත්ත්වය පිළිබදව වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බලනු ලබනවා.. එම පරීක්ෂණයෙන් LDL කොලෙස්ට්‍රෝල්, HDL කොලෙස්ට්‍රෝල් සහ triglycerides යන වර්ග සියල්ල පිළිබඳව සවිස්තර වාර්ථාවක් ලබාදෙනවා. මෙම පරීක්ෂණය සඳහා රුධිර සාම්පලයක් ලබාදිය යුතු අතර එයට පෙර පැය 12ක පමණ කාලයක් ආහාර සහ පාන වර්ග ආහාරයට ගැනීම නොකළ යුතු බවට වෛද්‍යවරයා ඇතැම් විට උපදෙස් ලබාදෙනවා.
කොලෙස්ට්‍රෝල් අඩුකරගන්නේ කෙසේද?
රුධිර පරීක්ෂණයෙන් ඔබටත් අධික කොලෙස්ට්‍රෝල් තත්ත්වයක් තිබේ නම් හෝ එසේ ඇතිවීමේ අවධානමක් තිබේ නම් ඔබේ ජීවණරටාව තුල යම් යම් වෙනස් කිරීම සිදුකල යුතු බවට වෛද්‍යවරයා ඇතැම්විට උපදෙස් ලබාදීමට ඉඩ තිබෙනවා.. උදාහරණ ලෙස ආහාර රටාවේ වෙනස්කම්, දුම්කොළ අශ්‍රිත නිශ්පාද භාවිතය සීමා කිරීම, ව්‍යායාම අරම්භ කිරීම ආදී විවිධ උපදෙස් සහ ඖෂධ ලබාදීම සිදුකරනු ලබනවා.
ආහාර රටාවෙන් කොලෙස්ට්‍රෝල් පාලනය වන ආකාරය
රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම නිසිපරිදි පවත්වාගෙන යාම සඳහා ආහාර මගින් සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල කරනු ලබනවා. අධික කොලෙස්ට්‍රෝල් මට්ටමක් තිබෙනවා නම් පහත පරිදි ආහාර වේලේ වෙනස්කම් සිදුවිය යුතුයි.
1. මේදය අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම
2. තෙල් අඩංගු නොවන කුකුළු මස්, මාලු සහ රනිල කුලයට අයත් ආහාර වර්ග ආහාර වේලට එක්කර ගැනීම
3. එළවලු, පළතුරු සහ ධාන්‍ය වැනි කෙදි සහිත ආහාර වර්ග ආහාරයට ගැනීම
4. ගැඹුරු තෙලේ බදින ලද ආහාර භාවිතයෙන් හැකිතාක් වැළකීම සහ ඒ වෙනුවට බේක් කල, ඇඹරූ, තැම්බූ, ග්‍රිල් කරන ලද ආහාර පරිභෝජනය කිරීම
5. ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම
අධික කොලෙස්ට්‍රෝල් සහ මේද වර්ග අඩංගු ආහාර වර්ග :
- රතු පැහැති මස් වර්ග, බිත්තර කහ මද සහ සම්පූර්ණ යොදය සහිත කිරි නිෂ්පාදන
- කොකෝ බටර්, පාම් තෙල් සහ පොල්තෙල් ආශ්‍රිත සකස් කරන ලද ආහාර
- ගැඹුරු තෙලේ බදින ලද චිප්ස් වර්ග, මස් වර්ග
- ඇතැම් කුකීස් සහ මෆින් වර්ග
- ඇතැම් ඔමෙගා 3 අඩංගු ආහාර වර්ග ගැනීමද LDL කොලෙස්ට්‍රෝල් මට්ටම පහළ යාම කෙරෙහි බලපානු ලබනවා.
ඔබගේ සිරැරේ අධි කොලෙස්ට්‍රෝල් මට්ටමක් තිබේනම් ඔබ සීමා කල යුතු ආහාර වර්ග පිළිබදව වෛද්‍යවරයා විසින් උපදෙස් ලබාදෙනු ලබයි.. කෙසේ නමුත් ඔබ අත් හැරිය යුතු සහ මධ්‍ය ප්‍රමාණයෙන් ආහාරයට ගත හැකි ආහාර පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසිම ඉතා වැදගත් වනවා.
ස්වභාවිකව කොලෙස්ට්‍රෝල් අඩු කරගන්නේ කෙසේද..?
ඇතැම්විට ඖෂධ ලබා ගැනීමෙන් තොරව ඔබගේ සිරැරේ කොලෙස්‍ට්‍රෝල් ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත් කරගත හැකි අතර ඒ සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, ව්‍යායාම කිරීම සහ දුම් පානයෙන් වැළකීම වැනි දෑ සිදු කිරීම අත්‍යවශ්‍යය වනවා. එමෙන්ම පහත දැක්වෙන ආහාර වර්ග මගින් ද රුධිරයේ ඇති කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරගත හැකිබවට ඇතැම් පුද්ගලයින් විශ්වාස කරනු ලබනවා.
- සුදුලූණු
- නිවුඩු සහල්
- ඕට්ස් නිවුඩ්ඩ සහ ඕට්ස්
- හණ ඇට
- කරපිංචා වැනි ඇතැම් ඖෂධ පැලළෑටි ආහාරයට ගැනීමෙන්
මෙම ආහාර වර්ග ගැනිමෙන් කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුවන බවට සායනිකව තහවුරු කර නොමැති අතර ඔබ කොලෙස්ට්‍රෝල් සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම් මෙවැනි දෑ ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වනවා.
අධි කොලෙස්ට්‍රෝල් තත්ත්වය ඇතිවීම වළක්වාගන්නේ කෙසේද..?
රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවීම කෙරෙහි බලපානු ලබන ඇතැම් ජානමය බලපෑම් පාලනය කිරිමට නොහැකි අතර ඔබගේ ජීවණ රටාවේ ඇති යම් අහිතකර සාධක පාලනය මගින් රුධිරයෙ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් ඇතිවීම පාලනය කරගැනීමට ඔබට හැකියි.
- කොලෙස්ට්‍රෝල් සහ මේදය අඩංගු ආහාර ගැනීම හැකිතාක් අඩුකර පෝෂ්‍යදායි තන්තුමය ගුනයෙන් වැඩි එළවලු, පළතුරු හා ධාන්‍ය ආහාර වේලට එක්කර ගැනීම.
- අධික මත්පැන් භාවිතය අඩු කිරීම
- නිරෝගි බරක් පවත්වා ගැනීම
- දිනපතා ව්‍යායාම කිරීම
- දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන භාවිතයෙන් වැළකීම
- වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් සහ ඖෂධ නිසි පරිදි භාවිතය
සැලකිලිමත් වන්න.. අධි කොලෙස්ට්‍රෝල් මට්ටම ඔබ සිතනවාට වඩා බරපතල සෞඛ්‍ය ගැටළුවක් වන අතර නිසි ප්‍රථිකාර ලබා නොගැනීමෙන් බරපතල සංකූලතා මෙන්ම මාරාන්තික වීමටද ඉඩ තිබෙනවා.. එබැවින් කොලෙස්ට්‍රෝල් තිබේනවායැයි යම් ගැටළුවක් තිබේ නම් හෝ පවුලේ ඒ සම්බන්ධ ඉතිහාසයක් තිබේ නම් වෛද්‍යවරයකු හමුවී කොලෙස්ට්‍රෝල් පරීක්ෂාවක් සිදුකරන ලෙස ඉල්ලා සිටින්න.. සෑමවිටම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට උත්සාහ කිරීම මෙම රෝග අවධානමෙන් මිදීම සඳහා ඇති හොඳම විසඳුම ලෙස හැඳින්වීමට පුළුවන්. ඔබත් ඒ ගැන කල්පනාකාරි වන්න.