කාන්තා පිරිමි විශේෂයක් නැතුව හැමෝම ලස්සනට ඉන්න කැමතියි. ඒත් විශේෂයෙන් මේ ලිපියෙන් කියන්නේ කාන්තාවකට මේකප් වර්ග භාවිතා කරන්නේ නැතුව සුන්දරත්වය වැඩි කර ගන්නේ කොහොමද කියන එක ගැන. අද වෙනකොට කාන්තාවන් ගොඩාක් දෙනෙක් මේකප් බාවිතා කරන එක සුලබ කරුණක්. ඒත් දිගු කාලීනව කෘතීම ආලේපන වර්ග භාවිතා කිරීම නම් ච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් කෘතීම ආලේපන වර්ග භාවිතා කරන එක අවම කරන්න. ඔයාට උපතින් උරුම වුණු ඔයාගේ ස්වභාවික ලස්සන මතු කර ගන්න හැම විටම උත්සාහ කරන්න. ඒ වගේම ස්වභාවිකව ලස්සන වෙන්න ගොඩාක් දෙනෙක් කැමතියි. තමන්ගේ මුහුණේ තියෙන ස්වභාවික ලස්සන මතු කර ගන්නේ කොහොමද කියල තමයි මේ කියන්නේ.
1. ඇහි බැම
මේකප් නැතුව ලස්සනට ඉන්න නම් ඔබේ ඇහි බැම ලස්සනට හදා ගන්න ඕන. හැබැයි ඒක ඔයාගේ මුහුණට ගැලපෙන විදියට වෙන්න ඕන. සැලෝන් එකකින් හරි ඒ පිළිබඳ දන්නා කෙනෙක්ගෙන් හරි උපදෙස් අරන් ඔබේ මුහුණට ගැළපෙන විදියට ඇහි බැම සකසා ගන්න ඕන. මොකද එක එක්කෙනාගේ අහි බැමේ හැඩය වෙනස් වගේම මුහුණේ හැඩයත් වෙනස් .ඒ නිසා ඇහි බැම සකස් කරද්දී මුහුණේ හැඩය හා ඇහිබැමේ හැඩය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි සමහර අයගේ ඇහිබැම ගොඩක් තුනීව පිහිටනවා. එතකොට ඇහිබැම තමන්ට ඕන විදියට සකස් කරන්න බැරුව යනවා. එකට පිළියමක් විදියට එඬරු තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් ඇහිබැමේ ආලේප කරලා හොඳින් සම්බාහනය කරන්න.
2. දෑස්
කාන්තාවකගේ මුහුණේ සොඳුරු බව වැඩි කරන දෙනෙත් ලස්සනට තියා ගන්නවා නම් ඔයාගේ ලස්සනින් බාගයක්ම සම්පුර්ණයි. ඒත් කාර්යබහුල කෙනෙක්ට ඒක ටිකක් අමාරු වැඩක්. කාර්යබහුල බව නිසා ඇති වෙන විඩාව, මහන්සිය, නිදිමත දෙනෙත් වලින් ඉක්මනින්ම පෙනෙන්න ගන්නවා. නිදි මැරීම, විඩාව නිසා ඇස් යට කළු වෙන්න ගන්නවා. එකත් ඔයාගේ සුන්දරත්වයට ගොඩාක් බලපානවා. ඒකට පිලියමක් විදියට අඩුම ගානේ දවසට පැය 7ක 8ක වත් නින්දක් ලබාගන්න. හොඳ under eye cream එකක් ආලේප කරන්න. ඒ වගේම අනිවාර්යෙන් ඔයාගේ ආහාර රටාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. යකඩ හා විටමින් ඌනතාවයත් මේ තත්වයන්ට හේතු වෙනවා. ඒ වගේම ඇස් මත සීතල පුළුන් හෝ අයි පෑඩ් තැබීමත් ටී බෑග් තැබීමත් වගේ ස්වාභාවික ක්‍රම භාවිතා කිරීමෙනුත් ඇස් වල දීප්තිය නැවත ලබා ගන්න පුළුවන්.
3. දත් දෙපළ
ලස්සන හිනාවක් කාන්තාවකගේ මුහුණට එකතු කරන්නේ මොන තරම් නම් සුන්දරත්වයක්ද? ඒත් ඉතිං දත් ටික අවුල් නම් කොහොමද කට ඇරලා හිනා වෙන්නේ. ඒ නිසා ඔයත් ඔයාගේ සුන්දරත්වය ගැන ගොඩාක් හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් දත් දෙපල ගැන සැලකිලිමත් වෙන්න. හිනාවකින් ඔබේ පෙනුම දෙගුණයක් වැඩි කරනවා. ඒ නිසා ඔබේ දත් සුදට දීප්තිමත්ව වගේම නිරෝගීව තියා ගන්න අමතක කරන්න එපා. අවුරුද්දට වතාවක් හරි දන්ත වෛද්‍යවරයා හමු වන්න.
4. හිසකෙස්
ඔයාගේ මුහුණට ගැළපෙන සරල මෝස්තරයකට කොණ්ඩය කපන්න. අද කාලේ ගොඩක් කාන්තාවන් කොණ්ඩෙට විවිධ විලාසිතා කරනවා. ඒවා කරාට කමක් නැහැ. හැබැයි ඔයාට ගැලපෙන විදියට. එහෙම නොවුනොත් ඔයාගේ ස්වභාවික පෙනුමට ඒක හානියක් වෙන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නත් මතක තබා ගන්න. හිසකෙස් අග පැලී ඇත්නම් ඒවා කපන්න මතක තබා ගන්න. සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කර කොණ්ඩයට පෝෂණයක් දෙන්න පුළුවන් නම් ඔබට වඩා නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන් වෙයි.
5. නින්ද
නීරෝගීව ඉන්න නම් දිනකට පැය 7-9 ත් අතර නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඔබගේ සම නිරෝගීව තබා ගන්න මෙය ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් මුහුණට විඩාබර පෙනුමක් එක්කරනවා වගේම ඇස් යට කළු වෙන්නත් ඒක හේතු වෙනවා. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් ඔබගේ මුහුණේ විඩාබර ගතිය නැති වෙනවා වගේම ප්‍රාණවත් පෙනුමක් ලැබෙනවා.
6. දෙතොල්
ලස්සන තොල් වලින් මුහුණේ සුදරත්වය වැඩි කරනවා. ඒ නිසා තොල් වලටත් අවශ්‍ය පෝෂණය හා සත්කාර ලබා දෙන එක වැදගත්. රාත්‍රියට මී පැණි හෝ ඔලිව් ඔයිල් ආලේප කිරීමෙනුත් තොල් වල පැහැය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම සතියකට සැරයක් පමණ ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර එය තොල් වල ආලේප කර එයින් සම්බාහනය කිරීමත් කරන්න පුළුවන්. එයින් තොල් වල මැරුණු සෛල ඉවත් වෙනවා.
7. ආහාර රටාව ගැනත් ටිකක් හිතන්න
අපි ගනු ලබන ආහාර වගේම ආහාර ගන්න විදියත් අපේ පෙනුමට අනිවාර්යයෙන් බලපෑම් කරනවා. අළුත් එළවලු පලතුරු අහාරයට එක් කර ගන්න. මාළු ඒ වගේම ධාන්‍ය වර්ග කෑම වේලට එකතු කර ගන්න. ඒ වගේම අධික තෙල් සහිත ආහාර, අධික සීනි වගේම කෘතීම වර්ණක හා රසකාරක යෙදූ ආහාර, උෂ්ණ අධික ආහාර වැඩි වශයෙන් ගැනීමෙන් වළකින්න. ඒ වගේම දෛනික ජල අවශ්‍යතාවය සපුරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ සම ලස්සනට තියා ගන්න වගේම නිරෝගිව ඉන්නත් වැඩි පුර වතුර බොන්න පුරුදු වෙන්න.