රැකියාවක් හොයා ගන්න එක වගේම එකම රැකියාවක් දිගටම කර ගෙන යන එකත් ඒ තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. මොකද රැකියාව එපා කරවන සහ රැකියාව ගැන කලකිරෙන්න හේතු නිතර නිතර ඇති වෙනවා. රැකියා වල නිරත ගොඩාක් දෙනෙක් තමන්ගේ රැකියාව ගැන තෘප්තිමත් නැහැ. ඒත් කරන්න දෙයක් නැති කමට හැම දේම ඉවසගෙන රස්සාව කරන්න පෙළඹෙනවා.
ඒත් එහෙම වෙද්දී ඔයාගේ සාර්ථකත්වය වගේම ආයතනයේ ඵලදායිතාවය යන දෙකම බිඳ වැටෙනවා. විශේෂයෙන් ඔයාගේ වෘත්තීය ජීවිතය මන්දගාමී එකක් වෙනවා. මේ ලිපිය කියවලා බලද්දී මේ කියන දේවල් ඔයාට කොතෙක් දුරට අදාළ වෙනවද නැද්ද කියන එක අනුව ඔයා ඔයාගේ ජොබ් එක ගැන ඉන්නේ කලකිරිමකින්ද? නැද්ද? කියන එක තේරුම් ගැන පුළුවන්.
වැඩට යන්නේ නොගිහින් බැරි කම නිසාද?
රැකියාව ගැන කලකිරුනොත් අනිවාර්යෙන් මේක වෙනවා. නොගිහින් බැරි කමට, ආවට ගියාට තමයි රැකියාව කරන්නේ. ඒ වගේම ඒකාකාරී බව නිසා අපි ගොඩාක් වෙලාවට කම්මැලි වෙනවා. එපා වෙනවා, එකම තැනක හිර වෙලා, කිසිම වෙනසක් නෑ, හැමදාම එකම තැන, එහෙම වෙද්දී ඔයාගේ වෘත්තීය ජිවිතේ ගමනක් යන්න බැරුව යනවා.
ඒකට හේතුව රැකියාව කැමැත්තෙන් කර ගෙන යන්න ධනාත්මක උත්තේජනයක් නොලැබෙද්දී රැකියාව එපා වෙනවා. ඊට පස්සේ ඔයා කම්මැලි කමෙන් දවස ගෙවනවා. මෙහෙම වෙද්දී රැකියාව ගැන මතක් වෙද්දීත් ඔයාට හිසරදේ වගේ.
බොරු ලෙඩ
රැකියාව කරන තැන ඔබට ගෙදර වගේම ප්රසන්න ස්ථානයක් විය යුතුයි. රැකියා ස්ථානය කියන්නේ දවසේ වැඩිම වෙලාවක් ක්රියාකාරීව සිටිය යුතු ස්ථානය. ඔයා කායිකව හා මානසිකව වෙහෙසට පත්වෙලා නම්, රැකියාව ගැන හිතද්දී ඇති වෙන්නේ දැඩි පීඩනයක් නම් ඔබේ ශරීරය ඒ වෙනුවට ප්රතික්රියා දක්වන්නේ ලෙඩ රෝග වලින්. ඒ නිසා ඔබ නිතරම සුළු රෝග තත්වයන්ට බඳුන් වෙනවා.
මඟ හැරීම
රැකියාව කරද්දී අපි අකමැති දේවලුත් රැකියාවේදී කරන්න සිද්ධ වෙනවා. මොකද පැවරෙන වගකීම් ප්රතික්ෂේප කරන්න බැහැනේ. සමහර වෙලාවට අකමත්හෙන් වුනත් කරනවා. තවත් සමහර වෙලාවට අපි ඒ අකමැති දේවල් පුළුවන් තරම් මඟහරින්න උත්සහ කරනවා. එහෙම වෙද්දී රැකියා ස්ථානයේ ප්රශ්න ඇති වෙන්න ගන්නවා. එහෙම දිගින් දිගටම ප්රශ්න ඇති වීම ඔයාට ඔයාගේ රැකියාව අප්රසන්න වෙනවා.
වැඩට ගිහින් ගෙදර යන්නේ ජීවිතේම එපා වුණු ගානටද?
හේතුවක් නැති වුණත් අධික වෙහෙසකින් ඔබ රැකියා ස්ථානයෙන් හවසට පිට වෙනවා නම්, දවසක් දෙකක් මෙහෙම නොවී හැමදාම මේ විදියට කායිකව හා මානසිකව වෙහෙසට පත් වෙනවා නම්, විශේෂයෙන් මානසිකව ඔයා වෙහෙසට පත් වෙලා නම්, වැඩි දවසක් නොගිහින් ඔයා හති වැටෙනවා. ඒක අහන්නත් දෙයක් නෙවෙයි. කොතරම් මහන්සි වෙලා වැඩ කරන රැකියාවක් වුණත් ඔයා ඒක කරන්නේ සතුටින් නම් ඔයා හැමදාමත් කායිකව හා මානසිකව ප්රබෝධමත්ව කටයුතු කරනවා.
ඉතින් මෙන්න මේ කියපු ප්රශ්න ඔයාටත් ඔයාගේ රැකියා ජිවිතේ තුල විඳින්න සිද්ධ වෙලා තියෙනවා නම් හොඳම දේ තමයි ඔය ඉන්න ගමන් ඔයාට ගැලපෙන ඔය හොයන විදියේ රැකියාවක් ගැන හොයල බලන එක. මොකද ආත්ම තෘප්තිය කියන එක අපිට ගොඩාක් වැදගත්.
ඔයා තෝර ගත්ත රැකියාව ඔයාගේ හැකියාවන් එක්ක කිසිසේත්ම නොගැලපෙන්නක් වෙන්න පුළුවන්. සමහර විට ඒ රැකියාව සඳහා අදාල කුසලතාවන් ඔයා තුළ නොමැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් ඔයාගේ කැමැත්ත තියෙන්නේ වෙනත් ක්ෂේත්රයකට වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුන් නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ රැකියාව ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ.
ඒ නිසා තමන්ගේ දක්ෂතාවයන් හඳුනා ගන්න. ඒ වගේම කැමැත්තට ඉඩ දෙන්න. අකමැත්තෙන් කරන රැකියාවක් තුළ ඔයාට කවදාවත් සාර්ථක වෙන්න බැහැ. එහෙම උනොත් හමදාම වැඩට ගිහින් ලෝකෙම එපා වුණු ගානට ගෙදර යන්න තමයි වෙන්නේ.