පැපොල, කම්බුල්ගාය දෙයියන්ගේ ලෙඩ කියලනේ කියන්නේ. ලෙඩේ කාගේ වුනත් හැදුනම නම් දෙයියෝ සිහි වෙනවා. ඒක නම් අනිවාර්යයි. මේ ලෙඩවල් හැදුන අය තමයි ඒකෙ රඟේ දන්නේ. හැමෝටම එක පාරක් හරි හැදෙනවා කියලත් කියනවනේ. "මට නම් හැදිලා නෑ " කියලා කට වැරැද්ද ගන්න එපා කියන්නේ ඒකනේ.
ඇත්තටම පැපොල දෙයියන්ගේ ලෙඩක්ද ?
නෑ. ඇත්තටම පැපොල කියන්නේ ඔය කාගේවත් ලෙඩක් නෙවෙයි. පැපොල කියන්නේ වෛරස් ආසාදනයක් නිසා ඇති වන රෝගී තත්ත්වයක්. මේකෙදි මුලින්ම වෙන්නේ උණ ගතියක් ඇති වෙන එක. ඊට පස්සේ රතු පැහැයට හුරු පොඩි පොඩි වතුර බිබිලි හට ගන්නවා. ඒ වගේම ඒ බිබිලි කසන්නත් ගන්නවා.
පැපොල රෝගය වැළඳුනු අයගෙන් පුළුවන් තරම් ඈත් වී සිටීමෙන් මෙම රෝගය ඔබටත් බෝ වෙන්න තියෙන අවදානම අවම කර ගන්න පුළුවන්. පැපොල රෝගියෙක් සමීපව ඇසුරු කිරීමෙන්, වාතය මඟින්, රෝගියාගෙන් පිට වන කිවිසුම් මඟින්, ඔවුන් භාවිතා කල ඇඳුම් මඟින් මෙය බෝ වෙන්න තියෙන අවස්ථාව වැඩියි. අනිත් එක තමයි පැපොල හැදුනු කෙනෙක්ගේ තුවාල හොඳටම වියලි යන තුරුම එම රෝගය අනෙක් අයටත් බෝ වෙනවා. ඒ නිසා තමයි ටිකක් අතේ දුරින් ඉන්න කිව්වේ.
පැපොල රෝගය වැළඳීමෙන් මෙන්න ඒ කියන සංකුලතා ඇති වෙන්න පුළුවන්.
පැපොල රෝගය නිසා ඇති වූ බිබිලි මත සැරව බිබිලි ඇති වෙන්න පුළුවන්. බිබිලි සුව වුනත් දුඹුරු පාට කැළැල් ඇති වීමත් තවත් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒ වගේම තමයි ඇස් පෙනීමේ විවිධ ගැටලුකාරී තත්ත්වයන්, අක්මාවේ අක්‍රියතා, නියුමෝනියාව, වකුගඩු අක්‍රියතා වැනි තත්ත්වයන් පසු කාලීනව ඇති වෙන පුළුවන් කියලා කියනවා.
කලින් කිව්ව රෝග ලක්ෂණ ඇති වෙලා ඔබට හෝ පවුලේ කෙනෙකුට පැපොල රෝගය ඇති වෙලා කියලා සැකයක් ඇති වුනොත් අනිවාර්යෙන් ඒ ගැන වෛද්‍යවරයෙක් ලවා නිවැරදිව හඳුනා ගන්න. උන සඳහා පැරසිටමෝල් භාවිතා කලත් එහි වරදක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට බොන්න එපා. වැඩි පුර වතුර හා දියර ආහාර ලබා ගන්න.
ගර්භනී මවකට පැපොල රෝගය වැළඳුනොත් එහි ලොකු අවදානමක් තියෙනවා.
මෙහිදී වැඩිම ආවදානම තියෙන්නේ උපදින දරුවාට. ගර්භනී මවකට මුල් මාස තුන තුළ පැපොල රෝගය වැළඳීමෙන් ඉපදෙන දරුවාගේ උපන් බර අඩු වෙන්නත්, අංග විකල දරුවන් බිහි වීමේත් අවදානමක් තියෙනවා. දරුවා බිහි වීමට ආසන්න අකාලයේදී හෝ දරුවා බිහි වී දින කිහිපයකින් මවට පැපොල රෝගය වැළඳුනොත් දරුවාටත් රෝගය වැළඳීමට ඉඩ තියෙනවා. ඒ නිසා ගර්භනී මව්වරුන් මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අතිශය කල්පනාකාරී විය යුතුයි.